ගිරිබාව වන්නිකුඩා වැවේ පැවති සංගීත සංදර්ශනයක රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරියක යතුරු පැදියකින් පොලිස් ස්ථානය වෙත යමින් සිටියදී අතර මඟ රැක සිට ඔවුන් දෙදෙනාට පහරදී පලා ගිය යුද හමුදා සෙබළකු ඇතුළු තිදෙනකු ගල්ගමුව පොලිසියේ නිලධාරීන් විසින් අත්බෝම්බයක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සංගීත සංදර්ශනය තිබී ඇත්තේ පසුගිය 14 වැනිදා රාත්‍රී කාලයේදීය.
එහි ආරක්ෂාවට පොලිස් නිලධාරීන් රැසක් යොදවා සිට ඇති අතර, එම නිලධාරීන්ගෙන් වැඩිදෙනකු සංගීතය අවසන්ව නැවත පොලිස් ස්ථානය වෙත පැමිණ ඇත්තේ පුද්ගලික යතුරුපැදිවල නැඟීය.
වන්නිකුඩාවැව, පෙරම්බඩයාය ප්‍රදේශයේදී යතුරුපැදිය පුද්ගලයන් තිදෙනකු විසින් නතරකර ඇති අතර, එම තිදෙනා විසින් එකවරම පොලිස් නිලධාරීන් දෙදෙනා සමඟ යතුරුපැදිය බිමට වැටෙන ලෙස තල්ලු කර ඇත. එම නිලධාරීන් දෙදෙනා නැඟිටීමට උත්සාහා දැරීමේදී ඔවුන් තිදෙනා පරුෂ වදන්වලින් නිලධාරීන් දෙදෙනාට බැණ වැදී පොල්ලකින් පහරදී ඇති බව ද පොලිසිය සඳහන් කළේය.
මෙම පහරදීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා ගිරිබාව රෝහලට 15 වැනිදා අලුයම ඇතුළත් කර තිබේ. අත්බෝම්බය හමුවී ඇත්තේ යුද හමුදා සෙබළා සතුව තිබියදීය. ඔහු ගල්ගමුව වන්නිකුඩාවැව පදිංචිකරුවකු වන අතර, ඔහු සිංහ රෙජිමේන්තුවේ සේවයේ නිරතව සිටින බව ගල්ගමුව පොලිසිය කියයි. ඔහුව ප්‍රදේශවාසීන් විසින් හඳුන්වනු ලබන්නේ ආමි අජිත් නමිනි.
සෙසු සැකකරුවන් ද වන්නිකුඩාවැව පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය. මෙම සැකකරුවන් තිදෙනා ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (20) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.