ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා රු. කෝටි 360ක (යුරෝ මිලියන 9.88 ක) මුදලක් ප්‍රදානය කිරීමට ලෝක බැංකුව, යුරෝපා සංගමය (EU) සහ ප්‍රංශයේ නිල සංවර්ධන සහාය පියවර ගෙන බවත්, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, ලෝක බැංකුව, යුරෝපා සංගමය (EU) සහ ප්‍රංශයේ නිල සංවර්ධන සහාය මූල්‍ය ගිවිසුම් අත්සන් කළ බවත් මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසයි. සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සඳහා යුරෝ මිලියන 9.8ක ප්‍රදානයක් පිරිනැමීමේ අරමුණ වන්නේ රාජ්‍ය මුදල් වියදම් කරන ආකාරය පිළිබඳ ආර්ථික පාලනය, විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීම සඳහා සහාය වීම බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. මේ ව්‍යාපෘතිය මඟින් රජයේ නව විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය (e-GP) සංවර්ධනය කිරීම සහ පරිමාණනය සහ ශ්‍රී ලංකා ජාතික විගණන කාර්යාලයේ ආයතනික ධාරිතාව ඉහළ නැංවීම සඳහා තාක්ෂණය උපයෝගි කරගැනීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරේ. රාජ්‍ය අංශය, ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළ භාණ්ඩ, වැඩ සහ උපදේශන නොවන සේවාවන්හි විශාලතම ගැනුම්කරු වේ. අපහසු සහ යල් පැනගිය ක්‍රියාපටිපාටි සහ ක්‍රියාවලීන්, වෙළෙඳපොළ ප්‍රවේශ පිළිබඳ සීමිත අවබෝධය සහ ප්‍රසම්පාදන තීරණ ගන්නන්ගේ ධාරිතාව සහ බලගැන්වීමේ අවශ්‍යතාව හේතුවෙන් මේ භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය බොහෝ විට ප්‍රමාද වේ.
අනාගතයේ අර්බුද ඇති වීමේ අවදානම අවමකර ගැනීමටත්, පද්ධතිය කෙරෙහි වගවීම සහ මහජන විශ්වාසය තහවුරු කිරීමටත් ශක්තිමත් සහ නවීකරණය කරන ලද රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පද්ධතියක් රටට අත්‍යවශ්‍ය වන බවත්, ලෝක බැංකුව හරහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ ප්‍රසම්පාදන හා විගණනයේ ආයතනික ධාරිතාවට සහ විනිවිදභාවයට සහාය දැක්වීමට මැදිහත් වන අතර, එමඟින් ආර්ථික පාලනය වැඩිදියුණු කිරීමට සහ ශ්‍රී ලංකාවේ ප්‍රකෘතියට සහාය වනු ඇති බවත්, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චායිබි මහතා පවසයි. විගණන සැලසුම්කරණය, තත්ත්ව සහතිකය, කාර්ය මණ්ඩල ධාරිතාව, පුරවැසියන්ගේ සහභාගිත්වය සම්බන්ධ ක්ෂේත්‍රවල ශක්තිමත් පාලනය, වැඩි වගවීම සහ වැඩිදියුණු කළ ආයතනික ධාරිතාව අනුව, විගණන ක්‍රියාවලියේදී මෙන්ම ප්‍රසම්පාදන ආදි විශේෂිත විගණනවලදී ශ්‍රී ලංකාවේ ජාතික විගණන කාර්යාලයේ කාර්යසාධනය වැඩිදියුණු කිරීම මඟින් සමස්ත වගවීමේ රාමුව ශක්තිමත් කිරීම මේ ව්‍යාපෘතියේ අරමුණ බවද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.