Home » ඌව-වෙල්ලස්ස 14කගේ ශිෂ්‍ය භාවය අහෝසියි

ඌව-වෙල්ලස්ස 14කගේ ශිෂ්‍ය භාවය අහෝසියි

by mahesh
July 21, 2023 1:00 am 0 comment

සොරණාතොට සමූහ - සී. ගමගේ, බදුල්ල - නිශාන්ත අබේගුණවර්ධන

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 2 සහ 3 වසර පීඨවල සරසවි සිසුන් 14කගේ ශිෂ්‍ය භාවය අද (20) සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අහෝසි කළ බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය ආරංචි මාර්ග පවසයි.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන 2 සහ 3 වසර පීඨවල සිසු කණ්ඩායම් දෙකක් අතර ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වයක් හේතුවෙන් විශ්වවිද්‍යාලයේ 2 සහ 3 වසර සියලු පීඨවල සිසුන්ට නැවත දැනුම් දෙන තුරු විශ්වවිද්‍යාල භූමිය තහනම් කරමින් එම සියලු සිසුන්ට 18 වන දින පස්වරුවේ නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙසට විශ්වවිද්‍යාලයීය බලධාරීහු දැනුම් දුන්හ.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 2 සහ 3 වසරවල සිසුන්ගේ මේ නොසන්සුන්කාරි තත්ත්වය බරපතළ සිසු ගැටුමක් දක්වා දුර දිග යෑමට ඉඩකඩ ඇති හෙයින් එම සිසුන්ට මෙසේ 18 දා සිට නැවත දැනුම් දෙන තුරු විශ්වවිද්‍යාල භූමිය තහනම් කලාපයක් කරනු ලැබීය.

මේ සිසුන් යළි ගම්බිම් බලා යෑමට බදුල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළට පැමිණ සිටියදී කිසියම් ගැටුමක් හටගෙන තිබූ අතර, ඒ සමඟම බදුල්ල නගරයේ මෙන්ම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සහ අවට ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව තර කර තිබිණි.

කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ පස්දෙනෙකුගෙන් සමන්විත විමර්ශන කමිටුවක් පත් කර අදාළ විමර්ශන කටයුතු සිදු කරන බවත්, ඒ කමිටුවේ නිර්දේශය ලැබෙන තෙක් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 2 සහ 3 වසර පීඨවල ඉගෙනුම ලබන සරසවි සිසුන් 14 දෙනකුගේ ශිෂ්‍ය භාවය මෙසේ තාවකාලිකව අහෝසි කළ බවත් විශ්වවිද්‍යාලයීය ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT