දශක හයකට වැඩි කාලයක් තිස්සේ කෝරළ වශයෙන් පත් කර තිබෙන හදිසි මරණ පරීක්ෂකවරුන් ලබන සතියේ සිට අධිකරණ අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාස යටතට ගොනු කරන බවත්, ඒ අනුව එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් මරණ පරීක්ෂකවරයකු බැගින් අන්තර්ග්‍රහණය කරන බවත් සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති අනුර හේරත් මහතා පවසයි.
හදිසි මරණ පරීක්ෂකවරුන් 700කට ආසන්න සංඛ්‍යාවක් අතුරින් 672 දෙනකු කෝරළවලට අනුයුක්තව සිටි බවත්, නව පත් කිරීම් සිදු නොකිරීම හේතුවෙන් මේ සංඛ්‍යාව මේ වන විට 400 දෙනකු පමණ දක්වා අඩු වී තිබෙන බවත් ඒ මහතා කීය. පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකදී හේරත් මහතා මේ බව ප්‍රකාශ කළේය. මෙරට තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331ක් තිබෙන බවත්, දැනට සිටින මරණ පරීක්ෂකවරුන් 400 දෙනා අතුරින් 331 දෙනකු මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අනුයුක්ත කිරීමෙන් පසු සෙසු පිරිස ජාතික, ශික්ෂණ හා මහ රෝහල්වල සේවය කරනු ඇති බවත් හෙතෙම අවධාරණය කළේය. ජාතික රෝහලකට සාමාන්‍යයෙන් මරණ පරීක්ෂකවරුන් තිදෙනකුත්, ශික්ෂණ රෝහලකට මරණ පරීක්ෂකවරුන් දෙදෙනකුත් පත් කරන්නේ යැයි ඒ මහතා කීවේය.
මරණයක් අවස්ථාවේ මෙතෙක් දුන් මරණ සහතිකය ඉදිරියේදී වෙනස් වී, එයට තවත් කරුණු අඩංගු කළ හැකි කොටසක් එකතු වන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් මේ සඳහා පුරෝගාමිත්වය ගෙන කටයුතු කරන බවත් කී සභාපතිවරයා රටේ ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉවහල් වන තොරතුරු රැසක් පෝරමයට ඇතුළත් කිරීමට නියමිත බවද අවධාරණය කළේය. රජයේ රෝහල්වල එන්නත් විෂ වීමෙන් සිදු වූ බව කියන මරණ පිළිබඳ තොරතුරු මාධ්‍ය මඟින් සමාජගත වීමත් සමඟ දිවයිනේ සෑම පළාතකම පාහේ රෝහල්වලදී මියගිය පුද්ගලයන් අතුරින් බහුතරයකගේ මරණ සැක සහිත බව දන්වමින් හදිසි මරණ පරීක්ෂකවරුන් වෙත පැමිණිලි ගලා එන තත්ත්වයක් දක්නට ඇතැයි එම සංගමයේ ලේකම් නීතීඥ මොහොමඩ් ෆර්හාන් මහතා කීය. මේ මරණ සම්බන්ධයෙන් පැහැදිලි නිගමනයකට එළඹෙන තෙක් නිදහස් සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් වැරදි ආකල්ප ඇති කර නොගත යුතු යැයිද ඒ මහතා පැවසීය.