රන් මාල කොල්ලකෑම් රැසකට සම්බන්ධ ජාතික රගර් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු රු. ලක්ෂ 40කට ආසන්න රන් භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි. මේ සැකකරු සමඟ හොරයින් මත්කුඩු මි.ග්‍රෑ. 5,400කට අධික ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
කඩුවෙල විහාර මාවතේ සැකකටයුතු මෝටර් රථයක් නවතා තිබෙන බවට කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති (පො.ප) ඛාන් වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව සැකකාර රගර් ක්‍රීඩකයා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ හොරයින් මත්කුඩු මි.ග්‍රෑ. 5,400ක් තිබී හමු වීමෙන් අනතුරුව පොලිසියට රැගෙන විත් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී පෑලියගොඩ කඩුවෙල, මුල්ලේරියාව හා වැලිකඩ පොලිස් බල ප්‍රදේශවල සිදු වූ රන් මාල කොල්ලකෑම් රැසක තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. ඒ සියලු කොල්ලකෑම් සැකකරු සිදු කර ඇත්තේ සොරාගත් යතුරුපැදිවලින් ගොස් වීම විශේෂත්වයක් බවත්, කොල්ලකෑමෙන් අනතුරුව එම යතුරුපැදි අත්හැරදමා ගොස් ඇති බවත් පොලිසිය කියයි. සැකකරු විසින් කොල්ල කන ලද සියලු රන් භාණ්ඩ හෙට්ටිවීදිය සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල රන් භාණ්ඩ මිල දී ගන්නා ස්ථානවලට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත. කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ක්‍රීඩා සමාජයක ක්‍රීඩකයකු වන සැකකරු 2003 වසරේ ජාතික රගර් කණ්ඩායම නියෝජනය කර, 2007 වර්ෂයේදී හොරයින් මත්කුඩු පානයට ඇබ්බැහිව ඇති බව පොලිසිය කියයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මහවිට දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයමහ මහත්වරුන්ගේ උපදෙස් මත කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති (පො.ප) ඛාන් වීරසිංහ, අපරාධ අංශයේ ස්ථානාධිපති (උ.පො.ප) චතුරංග පොලිස් කොස්තාපල්වරුන් වන (72619) කුමාර, (82601) වනසිංහ, (93839) සමිත, (82128) කෝසල, (93373) කොඩිතුවක්කු, (94119) අබේකෝන්, (103558) සඳරුවන්, (102620) හේරත් පරීක්ෂණ පවත්වති.