Home » දෙයියන්නේවෙල ග්‍රාම නිලධාරීට රටින් පිට වීම තහනම්
කූට ලේඛන හදා කටුගස්තොට අන්තෝනියට සිසුවියන් දැමීම

දෙයියන්නේවෙල ග්‍රාම නිලධාරීට රටින් පිට වීම තහනම්

by mahesh
July 21, 2023 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයේ අතරමැදි පන්තිවලට කූට ලේඛන භාවිත කරමින් ළමයින් ඇතුළත් කළ බවට නැඟෙන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ කරන මහනුවර පො‍ලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් මහනුවර දෙයියන්නේවෙල ග්‍රාම නිලධාරී ටී.එම්.සී.පී. තෙන්නකෝන් නැමැති අය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු විදේශගත වීම වළක්වමින් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා විසින් ඔහුට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන ඉදිරි විමර්ශන කටයුතු මඟින් අනාවරණය වන තොරතුරු මත ප්‍රශ්න කිරීම සඳහා අදාළ ග්‍රාම නිලධාරිවරයා අවශ්‍ය වන මොහොතක ඔහු විදේශගතව සිටිය හොත් එමඟින් විමර්ශනවලට බාධාවක් විය හැකි බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් දැනුම් දී ඇත.

පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර විදේශගත වීම වළක්වමින් තහනම් නියෝගයක් ගනු ලැබූ ග්‍රාම නිලධාරිවරයා කටුකැලේ ඉහළ කොටසේ ග්‍රාම නිලධාරිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී පදිංචි සහතික නිකුත් කිරීම සඳහා ඔහු වෙත නිකුත් කර තිබූ පොතක කොළයක් කටුගස්තොට සාන්ත අන්තෝනි බාලිකාවට ළමයින් ඇතුළත් කිරීමට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් පදිංචි සහතික නිකුත් කිරීමේ චෝදනාව මත දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සෙංකඩගල වසමේ ග්‍රාම නිලධාරීවරයාට දී තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ. අදාළ ග්‍රාම නිලධාරිවරයා වසර 5ක කාලයක් සඳහා තමන්ට විදේශගත වීමට අවශ්‍ය බව දක්වමින් වැටුප් රහිත නිවාඩු ඉල්ලමින් මෙයට දෙසතියකට පමණ ඉහත ගඟවට කෝරළය ප්‍රාදේශිය ලේකම්වරයා වෙත ලිපියක් ඉදිරිපත් කර තිබෙන අතර, අදාළ අවසරය දීම ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රතික්ෂේප කර ඇත. පොලිසිය ඔහු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළේ මෙවැනි පසුබිමකය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT