Monday, May 5, 2025
Home » හරක් ලොරියෙන් දුන් ලක්ෂය රාලහාමිලා ප්‍රතික්ෂේප කරති

හරක් ලොරියෙන් දුන් ලක්ෂය රාලහාමිලා ප්‍රතික්ෂේප කරති

by mahesh
July 21, 2023 1:00 am 0 comment

– රියැදුරු සහ සහායක අත්අඩංගුවට
– දොරටියාවෙන් පොලිසියටම ආදර්ශයක්

ව්‍යාජ බලපත්‍ර යොදාගෙන මස් පිණිස ගවයන් ප්‍රවාහනය කළ ලොරියක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීමට ලබා දුන් රුපියල් ලක්ෂයක අල්ලසක් ප්‍රතික්ෂේප කළ රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පිළිබඳව කුරුණෑගල දොරටියාව පොලිසියෙන් වාර්තා වේ.

දොරටියාව පොලිසියේ රථ වාහන අංශයේ සේවය කරන සැරයන් (39301) දිසානායක සහ (72248) ලියනාරච්චි රුපියල් ලක්ෂයක අල්ලස් මුදල ප්‍රතික්ෂේප කළ නිලධාරීන් වේ.

මෙම නිලධාරීන් දෙදෙනා දොරටියාව පොලිස් බලප්‍රදේශයට අයත් දඹුල්ල මාර්ගයේ රථ වාහන පරීක්ෂාවක යෙදී සිටියදී එළගවයන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පරීක්ෂාව සඳහා නවතා ඇත. එම ලොරියෙහි ගවයන් දසදෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ අතර, ඒ සඳහා යොදාගෙන තිබූ බලපත්‍ර පරීක්ෂා කිරීමේදී ඒවා ව්‍යාජ ඒවා බව හඳුනාගැනීමට මෙම නිලධාරීන් දෙදෙනා සමත්ව ඇත.

මුරුක්කන් ප්‍රදේශයේ සිට කොළඹට ගවයන් ප්‍රවාහනය කරන බවට එම බලපත්‍රවල සටහන්ව තිබුණ ද අත්අඩංගුවට ගත් ලොරියේ සිටි ගවයන් මුරුක්කන් ප්‍රදේශයෙන් නොව වයඹ පළාතෙන්ම සොරකම් කරන ලද ගවයන් බව අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගැනීමට මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා සමත්ව ඇත.

ගවයන් දසදෙනෙකු දින දහයක කාලයකදී ප්‍රවාහනය සඳහා පශු වෛද්‍ය නිලධාරීන් විසින් ලබා දී ඇති ප්‍රවාහන බලපත්‍ර යොදාගෙන ව්‍යාජ ලෙස සකස් කරන ලද බලපත්‍රයක් භාවිතා කරමින් නියමිත අවසරය ඉක්මවමින් ගවයන් ප්‍රවාහනය කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. මිලදීගත් ගවයන් බව පෙන්වීම සඳහා යොදාගෙන තිබූ කන් තහඩු ද ව්‍යාජ ඒවා බවට හඳුනාගෙන තිබේ.

මේ අවස්ථාවේදී බේරී යාම සඳහා වැටලීම සිදු කළ මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දීමට ලොරිකරුවන් දෙදෙනා සූදානම්ව ඇතත් පොලිස් නිලධාරීන් දෙදෙනා එය ප්‍රතික්ෂේප කරමින් ලොරිය සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් ජාඇළ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

මෙම නිලධාරීන් දෙදෙනා රාජකාරි කටයුතු වලදී දක්වන ලද අවංකත්වය අගය කරමින් ඔවුන්ට ප්‍රශංසාත්මක ත්‍යාග මුදල් ප්‍රදානය කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා තීරණය කර ඇති බව ද වාර්තාවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT