හෙරොයින් ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 200ක් සමඟ අත්අඩංගුවට ගත් බව කියන, කප්පම් ගැනීම් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ විදේශ රටකට පැන ගොස් සිටින ගණේමුල්ල සංජීවගේ පාතාල කල්ලියේ ප්රබලයෙකු බව සඳහන් සැකකරුවෙකු මේ මස 25 වැනිදා දක්වා කොළඹ උතුර (පෑලියගොඩ) අපරාධ කොට්ඨාසය තුළ රඳවාගෙන පරීක්ෂණ කටයුතු කරන ලෙසට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (19) පෙරවරුවේ එම අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.
නිට්ටඹුව කැටකාලපිටිය ප්‍රදේශයේ පදිංචි චානක වික්‍රමසිංහ නමැත්තෙකු එසේ රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියෝග කෙරිණි.
කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් පිරිසක් ඉකුත් 18 වැනිදා පස්වරුවේ කැටකාලපිටිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 200ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව විවෘත අධිකරණයේදී අනාවරණය විය. කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් සෙනෙවිරත්න (66641) මහතා කරුණු දක්වමින් සැකකරු දැනට විදේශ රටකට පැන ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ප්‍රබල පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව නමැත්තාගේ ලංකාව තුළ හෙරොයින් බෙදාහැරීමේ ජාලයේ නායකයෙකු බවත් මොහු ඉකුත් 18 වැනිදා පස්වරුවේ හෙරොයින් ග්‍රෑම් 17යි මිලි ග්‍රෑම් 200ක් සමඟ අත්අඩංගුවට ගත් බවත් පවසා සිටියේය.
මොහුට එරෙහිව කපා කොටා බරපතළ තුවාල සිදු කිරීම්, අත් බෝම්බයක් ළඟ තබා ගැනීම ඇතුළු නඩු ගණනාවක්ම ගම්පහ හා අත්තනගල්ල අධිකරණවල පවතින බවත්, ගණේමුල්ල සංජීව මෙරටට එවනු ලබන හෙරොයින් බෙදාහැරීම මොහු විසින් කරන බවට මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බවද පොලිස් සැරයන්වරයා අධිකරණය ඉදිරියේ පවසා සිටියේය.
මොහු අද දින මෙම අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ආ අවස්ථාවේ මාංචු පිටින්ම පැන යාමට උත්සාහ ගත් බවත් ඒ අවස්ථාවේ අසල සිටි පොලිස් නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන් බලවත් පරිශ්‍රමයක් දරා මොහු අල්ලා ගත් බවත් ඒ අවස්ථාවේ මොහු බිම වැටීම හේතුවෙන් මොහුගේ නළලේ සීරීම් තුවාලයක් සිදු වී ඇති බවත්, මොහු පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වීම සඳහා දින හතක කාලයක් කොළඹ උතුර අපරාධ කොට්ඨාසය තුළ රඳවාගෙන පරීක්ෂණ පැවැත්වීමට අවසර ලබා දෙන ලෙසට ද පොලිස් සැරයන්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් ඉල්ලා සිටියේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා කොළඹ උතුර පොලිස් අධිකාරිවරයාගේ සහතිකය ද පරීක්ෂා කර බලා එසේ සැකකරු දින හතක කාලයක් කොළඹ උතුර අපරාධ කොට්ඨාසය තුළ රඳවාගෙන වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වීමට නියෝග කළේය.