Home » යතුරුපැදිය පෙරළී 14 හැවිරිදි දරුවෙක් මරුට

යතුරුපැදිය පෙරළී 14 හැවිරිදි දරුවෙක් මරුට

දාහත් හැවිරිදි පැදිකරු රිමාන්ඩ්

by mahesh
July 21, 2023 1:00 am 0 comment

වේයන්ගොඩ විශේෂ

කල්එළිය දම්පිල්ලෑව ප්‍රදේශයේ දී යතුරුපැදියක් පෙරළී යාමෙන් එහි පිටුපස අසුනේ සිටි දාහතර හැවිරිදි පාසල් දරුවෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටියදී මියගොස් ඇත. මාරක අනතුරට සම්බන්ධව එය පදවාගෙන ගිය බව කියන දාහත් හැවිරිදි සැකකරුවෙකු අද (21) දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (19) පස්වරුවේ නියෝග කළේය.

කල්එළිය ප්‍රදේශයේ පදිංචි තුවාන් අසීස් ආබ්දීන් (17) නමැත්තෙකු එසේ රිමාන්ඩ් කෙරිණි.

සැකකරු රියැදුරු බලපත්‍රයක් පවා නොමැතිව ඉකුත් 07 වනදා රාත්‍රි කල්එළිය ප්‍රදේශයේම පදිංචිව සිටි මොහොමඩ් නෞෂාඩ් උමාර් (14) නමැති දරුවෙකු පිටුපස අසුනේ තබා ගෙන අධික වේගයකින් යතුරුපැදියක් පදවාගෙන යද්දී එය කල්එළිය දම්පිල්ලෑව ප්‍රදේශයේ දී පෙරළී යාමෙන් දෙදෙනාම බරපතල තුවාළ ලබා රෝහල්ගත කර කර සිටි බව විවෘත අධිකරණයේදී අනාවරණය විය.

එසේ රෝහල්ගත කර සිටි දරුවා ප්‍රකාශයක් පවා නොකරම මිය ගොස් තිබිණ.

යතුරුපැදිකරු රෝහලින් පැමිණි පසු පල්ලෙවෙල පොලිසියේ රථ වාහන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණ.

පල්ලෙවෙල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක යසරත්න තෙන්නකෝන් මහතා සැකකාර පැදිකරු අධිකරණයට ඉදිරිපත් කරමින් රියැදුරු බලපත්‍රයක් පවා නොමැතිව ඉතාමත්ම අපරික්ෂාකාරී අන්දමින් අධික වේගයකින් රාත්‍රී 10ට පමණ යතුරුපැදිය පදවාගෙන යද්දී එය පෙරළී අනතුර සිදු වී ඇති බව පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි කියා සිටියේය.

පොලිසියේ කරුණු දැක්වීම්වලින් අනතුරුව එසේ සැකකරු රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කෙරිණි.

නැවත කැඳවීම අද 21 වනදාට කල් තැබිණ.

සැකකරු වෙනුවෙන් නීතිඥ අසේල අබේසුන්දර මහතා පෙනී සිටියේය.

මිය ගොස් ඇති දරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ ප්‍රියංකර මාරසිංහ මහතා පෙනී සිටියේය.

පල්ලෙවෙල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක යසරත්න තෙන්නකෝන් මහතා පැමිණිල්ල මෙහෙයවිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT