පහර දී තුවාල ලබා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බිරියට පිහියක් රැගෙන ගොස් ඇනීමට ගිය සැමියා මෙල්ල කර වාට්ටුවෙන් එළියට ඇද දමා ඇති හෙද නිලධාරිනියක් පිළිබඳ පුවතක් පෙරේදා (19) රාත්‍රී කෑගල්ල ප්‍රදේශයේ රෝහලකින් වාර්තා විය. මෙලෙස රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ 25 හැවිරිදි විවාහක තරුණියකි. නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණිය මීට අවුරුදු 2කට පමණ ඉහතදී තරුණයෙක් සමඟ විවාහ වී ඔහුගේ නිවසේ පදිංචිව සිටියි. මෙම තරුණියගේ සැමියා කලක සිට මත්ද්‍රව්‍ය පානය කිරීමට පුරුදුව සිට තිබේ. ඔහුට සවස මත්ද්‍රව්‍ය පානය කිරීමට යාමට මෙම තරුණ බිරියට සෑම දිනකම මුදල් ලබා දීමට සිදුව ඇති අතර, මුදල් ලබා නොදුන්නොත් අතින් පයින් හෝ අතට අහුවෙන එකකින් දමා ගැසීමට පුරුදුව සිටියි. ඉකුත් 18 වැනිදා පෙරවරුවේ බිරියගෙන් රුපියල් 5000ක මුදලක් මත්ද්‍රව්‍ය පානය කිරීමට ඉල්ලා ඇති අතර, එහිදී ඇය මුදල් නොමැති බව දන්වා තිබේ. පසුව සැමියා බිරියට අතින් හා පොල්ලකින් පහර දීම හේතුවෙන් බිරිය තුවාල ලබා රෝහල්ගත කර තිබේ. පෙරේදා (19) රාත්‍රියේ යම් පුද්ගලයෙක් අවේලාවේ වාට්ටුවට ඇතුළු වීමට පිහියක් ද රැගෙන පැමිණෙන අයුරු වාට්ටුවේ හෙද නිලධාරිනියක් දැක තිබේ. පසුව හෙද නිලධාරිනිය දිව ගොස් අවේලාවේ පිහියක් රැගෙන වාට්ටුවට පැමිණෙන්නේ මන්දැයි තරුණායාගෙන් විමසීමක් කර ඇත. පසුව ඔහු බිරියගේ නම කියා ඇය බැලීමට පැමිණි බව පවසා තිබේ. පසුව හෙද නිලධාරිනිය තරුණයාට මඳක් රැඳී සිටින ලෙස දන්වා තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය වෙනත් ඇඳකට කර යළි තරුණායා අසලට පැමිණ තිබේ. පිහිය රැගෙන වාට්ටුවට ඇතුළත් වීමට පැමිණ සිටි තරුණ සැමියාගෙන් හෙද නිලධාරිනිය පිහියක් රැගෙන අවේලාවේ බිරිය බැලීමට පැමිණියේ මන්දැයි විමසීමක් කර තිබේ. එහිදී බීමත්ව සිටි තරුණ සැමියා කියා සිටියේ තම බිරිය අංක 07 ඇඳේ ප්‍රතිකාර ලබන බවත්, ඇය හමුවීමට තමන්ට යා යුතු බවත් පවසා වාට්ටුවට ඇතුළු වීමට උත්සාහ දරන අවස්ථාවේ දී හෙද නිලධාරිනිය තරුණායා ඇඳ සිටි කමිසයෙන් අල්ලාගෙන ඇදගෙන වාට්ටුවෙන් පිටතට රැගෙන ගොස් පිටත් කර තිබේ. පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට හෙද නිලධාරිනිය විසින් දන්වා තිබේ. පොලිස් නිලධාරියෙක් වාට්ටුවට යන අවස්ථාවේදී තරුණායා රෝහලෙන් පිටව ගොස් තිබේ. පසුව තරුණියගෙන් සැමියා පහර දීම සම්බන්ධයෙන් විමසා තිබේ. එහිදී ඇය කියා ඇත්තේ තම සැමියාට මත්ද්‍රව්‍ය පානය කිරීමට මුදල් දීමට සිදුව ඇති බවත් මත්ද්‍රව්‍ය පානය කර මිතුරන් කිහිප දෙනෙක් සමඟ රාත්‍රියේදී නිවසට පැමිණ මිතුරන් ද පාවා දී අතින් පයින් හා අහුවෙන යමකින් පහර දෙන බවත්ය.
බිරියට පිහියෙන් අනින්න ගිය සැමියා හෙද නිලධාරිනිය අතින් මට්ටු වෙයි
සැකකරු මෙල්ල කර වාට්ටුවෙන් එළියට ඇද දමයි
by mahesh
July 21, 2023 1:01 am
0 comment
කෑගල්ල විශේෂ - චමින්ද ජයලත්
1K