Home » රාජකීය-ත්‍රිත්ව ඓතිහාසික ‘බ්‍රැඩ්බි පලිහ’ රග්බි පළමු තරගය හෙට පල්ලෙකැලේදී

රාජකීය-ත්‍රිත්ව ඓතිහාසික ‘බ්‍රැඩ්බි පලිහ’ රග්බි පළමු තරගය හෙට පල්ලෙකැලේදී

by mahesh
July 21, 2023 1:00 am 0 comment

ෆවුස් මොහොමඩ්

කොළඹ රාජකීය සහ මහනුවර ත්‍රිත්ව විදුහල් අතර සුප්‍රකට බ්‍රැඩ්බි පලිහ 77 වැනි වාර්ෂික රග්බි තරගාවලියේ පළමු අදියර හෙට (22) පස්වරුවේ පල්ලෙකැලේ දී පැවැත්වේ. එහි දෙවැනි හා අවසන් අදියර පැවැත්වීමට නියමිතව ඇත්තේ අගෝස්තු මස 5 වැනිදා කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදීය.

වසර 1920 ජූලි මස 31 වැනිදා දෙපිල අතර ආරම්භ වූ වාර්ෂික රග්බි තරගය බ්‍රැඩ්බි පලිහ සඳහා වන තරගය බවට පත් වූයේ 1945දී එවකට රාජකීය විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ ඊ.එල්. බ්‍රැඩ්බි මහතා දෙවිදුහල අතර තරග දෙකකින් සමන්විතව වාර්ෂිකව මේ තරගය පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් පසුවය. එම යෝජනාවට එවකට ත්‍රිත්ව විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඊ. සිමිත්‍රාරච්චි මහතා එකඟ වීමත් සමඟ රාජකීය – ත්‍රිත්ව වාර්ෂික රග්බි සංග්‍රාමයට නව ජීවයක් එක් විය. මෙතෙක් පැවති බ්‍රැඩ්බි පලිහ තරගාවලි 76ක් අතුරින් ත්‍රිත්ව විදුහල තරග 39ක් ජයගෙන වැඩිම වාර ගණනක් පලිහ අත්කර ගැනීමට සමත් වූ අතර, රාජකීය විදුහල අවස්ථා 35කදී බ්‍රැඩ්බි පලිහට හිමිකම් කීවේය. අවස්ථා දෙකකදී දෙපිලම සම ශූරයෝ බවට පත් වූහ. එසේ වුවත් මේ වන විට වසර 4ක් පුරා අඛණ්ඩව බ්‍රැඩ්බි පලිහ රැක ගැනීමට සමත්වී ඇත්තේ රාජකීය විදුහලය.

ත්‍රිත්ව විදුහල අවසන් වරට බ්‍රැඩ්බි පලිහ දිනාගනු ලැබුවේ 2015 වසරේදීය. 2016දී දෙපිල සම ශූරයෝ බවට පත්වූ අතර, රාජකීය විදුහල පලිහ රැක ගැනීමට සමත් වූයේ 2017 වසරේ සිටය. කොවිඩ් වසංගතය හේතුවෙන් 2020 සහ 2021 දෙවසරේදී තරගාවලිය නොපැවැත්විණි. පසුගිය වසරේදී රාජකීය විදුහල් පිල බ්‍රැඩ්බි පලිහට හිමිකම් කීවේ සමස්ත ලකුණු 50-26කින් ත්‍රිත්ව විදුහල් පිල පරාජය කරමිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT