ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ටෙස්ට් කඩුලු 600 සීමාවට පිවිසීමට එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක 37 හැවිරිදි ස්ටුවර්ට් බ්‍රෝඩ් සමත් වෙයි.
ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ පෙරේදා මැන්චෙස්ටර්හිදී ආරම්භ වූ සිවුවැනි තරගයේ පළමු දිනයේදී කඩුලු 2ක් බිඳ දැමීමත් සමඟ බ්‍රෝඩ් මේ සීමාවට පිවිසියේය.
166 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන බ්‍රෝඩ් මේ තරගයට එක් වන විට බිඳ දමා තිබූ කඩුලු සංඛ්‍යාව 598කි. ඉනිමේ පළමු කඩුල්ල ලෙස උස්මාන් කවාජා දවා ගත් බ්‍රෝඩ් ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස ලකුණු 48ක් රැස් කර සිටි ට්‍රැවිස් හෙඩ් දවා ගනිමින් කඩුලු 600 සම්පූර්ණ කර ගත්තේය.
ඒ සමඟ ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුලු 600 සීමාවට පිවිසි 5 වැනි පන්දු යවන්නා ලෙස ඉතිහාසයට එක් වූ අතර, එම දස්කම පෑ දෙවැනි එංගලන්ත පන්දු යවන්නා මෙන්ම දෙවැනි වේග පන්දු යවන්නා ලෙස ද බ්‍රෝඩ් වාර්තා අතරට එක් වෙද්දී ඔහුගේ කණ්ඩායමේ සාමාජික 40 හැවිරිදි ජේම්ස් ඇන්ඩර්සන් (තරග 182) ඔහුට ඉදිරියෙන් සිටි.
ඊයේ ඔස්ට්‍රේලියානු නායකයා ඉනිමේ 9 වැනි කඩුල්ල දවා ගැනීමත් සමඟ මේ වන විට කඩුලු 689ක් බිඳ දමා ඇති ඇන්ඩර්සන් කඩුලුලාභීන් අතර තෙවැනි තැන පසුවෙයි. ඔහුට ඉදිරියේ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් (800) සහ ඔස්ට්‍රේලියාවේ ෂේන් වෝන් (708) සිටින අතර, සිවුවැනි ස්ථානය ඉන්දියාවේ අනිල් කුම්බ්ලේට (619) හිමිව ඇත.