“ISRO හි බලාපොරොත්තුව වන්නේ ලෑන්ඩරය සහ රෝවරය 2023 අගෝස්තු මස 23 වැනි දින සඳෙහි දක්ෂිණ ධ්‍රැව කලාපය ආසන්නයට ගොඩබසිනු ඇති බවයි. චන්ද්‍රයාන් – 3ට දින 40 කට වඩා වැඩි කාලයක් සඳ වෙත ළඟාවීමට කල්ගත වන්නේ මන්දගාමි ගමන් පථයක් භාවිත කරන බැවිනි.”
ඈත අතීතයේ සිට සඳ පිළිබඳව බොහෝ දෙනෙක් අවධානය යොමු කළ ද ඒ කාලයේ බහුතරයක් දෙනා කතාබහ කරනු ලැබුවේ එහි සිටින හාවා ගැනයි. එහෙත් හඳේ සිටිනවා යැයි කියූ හාවා ගැන කතා බහ අඩුවන්නට පටන් ගන්නේ නීල් ආම්ස්ට්‍රෝන් සඳ මත පා තැබූදා පටන්ය. කරුණු කාරණා කෙසේ වෙතත් යළිත් සඳ පිළිබඳවත්, රොකට් පිළිබඳවත් කතා බහක් ඇතිවන්නට පටන් ගත්තේ එයට අඩුපාඩුවක් ලෙසින් ඉන්දියාව ද ඈඳා ගනිමිනි. එයට හේතුව වූයේ පසුගියදා චන්ද්‍රයාන්-3 නමින් හඳුන්වන රොකට්ටුව දියත් කිරීමත් සමඟිනි.
චන්ද්‍රයාන්-3 ගුවන්ගත කරනු ලැබුවේ පසුගිය ජූලි 14දා පස්වරුවේ සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. ඉන්දියාව මෙවර අභ්‍යවකාශය වෙත යවනු ලැබූ රොකට්ටුව නියමිත පරිදි සඳ වෙත ගමන් කරනු ලැබුවහොත් අමෙරිකාවට, රුසියාවට සහ චීනයට පසු සඳ ජයගත් අලුත්ම රට වශයෙන් වාර්තාගත වනු ඇත. ඉන්දියාව මීට පෙර අවස්ථාවන් දෙකකදී සඳ වෙත ගමන් කිරීමට අඩිතාලම දැමුවද ඉන් කිසිවක් සාර්ථක කර ගැනීමට ඔවුනට හැකියාව ලැබුණේ නැත. ඉන්දියාව විසින් චන්ද්‍රයාන් – 1 අභ්‍යවකාශගත කරනු ලැබුවේ 2008 වසරේදීය.
චන්ද්‍රයාන් – 1
සඳ මත ගමනේ පළමු පියවර ඉන්දියාව විසින් තබනු ලැබුවේ 2008 වසරේදීය. එම වසරේ දියත් වූ මෙහෙයුමේදී සඳ මතු පිට ජලය ඇති බව පරීක්ෂණයට ලක් කළ පළමු හා ඒ සවිස්තරාත්මකම මෙහෙයුම එය විය. ඒ බව සඳහන් කරන්නේ චන්ද්‍රයාන් 1හි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාය. එමෙන්ම ඔහුගේ සඳහනට අනුව දහවල් කාලයේදී සඳට වායුගෝලයක් තිබෙන බව තහවුරු කර ගැනීමට ද මෙම මෙහෙයුම උපකාරි වූ බව ඔහු විසින් ප්‍රකාශ කර සිටී. තවදුරටත් සඳහන් කරන්නේ නම් සඳේ දක්ෂිණ ධ්‍රැවයට ආසන්නයේ ජලය සෙවූ පළමු යානාව වූයේ ද චන්ද්‍රයාන්-1 ය.
මෙම චන්ද්‍රයාන්-1 හි සාර්ථකත්වය මත චන්ද්‍රයාන් – 2 මඟින් මීට දින කිහිපයකට පෙර අභ්‍යවකාශගත කළ යානාවට අවශ්‍ය පැහැදිලිතාවයෙන් යුත් ඡායාරූප ලබා ගැනීමේ මඟ හසර සැලසිණි. කෙසේ වෙතත් චන්ද්‍රයාන් මෙහෙයුම ආරම්භ වූයේ සඳ සහ එහි රසායනික හා ස්වාභාවික මූලද්‍රව්‍ය මෙන්ම පස සහ ජලය පිළිබඳව විද්‍යාත්මක අත්හදා බැලීම් උදෙසා කටයුතු සැලසීමටයි. එමෙන්ම බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා සඳ පෘෂ්ඨයේ නිර්මාණය වන ද්‍රව්‍යයන් උපයෝගි කර ගත හැක්කේ කවර ආකාරයට ද යන්න මූලික කර ගනිමිනි.
ඉන්දියාව තම ප්‍රථම රොකට්ටුව අභ්‍යවකාශගත කිරීමේදී ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) හැඳින්වූයේ චන්ද්‍රයාන් නමිනි. එය හින්දි භාෂාවෙන් භාවිත වන නමක් වුව ද එහි තේරුම වන්නේ ‘සඳ යානය’ යන්නයි. මෙකී චන්ද්‍රයාන්-1 අභ්‍යවකාශගත කිරීමත් සමඟ එයින් ලැබුණ ප්‍රතිලාභ ලෙසින් ඔවුහු කරුණු කිහිපයක්ම හඳුන්වා දුන්හ. ඒ අතර සඳ මතුපිට පසෙහි ජලය අනු පවතින බව සොයා ගැනීම අමෙරිකාව විසින් අභ්‍යවකාශගත කළ ඇපලෝ 11 සහ ඇපලෝ 15 ගොඩබෑම් ස්ථානයන් ඡායාරූප ගත කිරීම, සඳ එක්වරක් හෝ උණු වී ඇති බව සොයා ගැනීම හා සඳෙහි ඛනිජ විද්‍යාව පිළිබඳව අධි විභේදන වර්ණාවලී දත්ත සපයා ගැනීමට හැකි වූ බවයි. කෙසේ වෙතත් චන්ද්‍රයාන් – 1 මෙහෙයුම අසාර්ථක විය.
චන්ද්‍රයාන් – 1 2008 වසරේ අභ්‍යවකාශගත කිරීමෙන් පසු එයින් ඔවුන් බලාපොරොත්තු වූ සාර්ථකත්වය නොලැබූ හෙයින් 2019 ජූලි මාසයේදී යළිත් චන්ද්‍රයාන් – 2 අභ්‍යවකාශගත කිරීමට ඔවුහු කටයුතු කළහ. ඒ අනුව 2019 ජූලි මස චන්ද්‍රයාන් – 2 සඳ ගමන ඇරඹීය. චන්ද්‍රයාන් – 2 මෙහෙයුම සලකනු ලැබුවේ චන්ද්‍රයාන් – 1 මෙහෙයුමට වඩා සංකීර්ණ කටයුත්තක් ලෙසිනි.
චන්ද්‍රයාන් 2 මෙහෙයුම
ඉන්දියාවේ දෙවන සඳ මෙහෙයුම වූ චන්ද්‍රයාන් – 2 මින් පෙර සිදු කරන ලද සඳ ගවේෂණයට වඩා තාක්ෂණික අතින් ඉහළ අගයක් පෙන්නුම් කරන්නට විය. ඉන්දියාවේ ශ්‍රී හරිකෝතා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට මෙය ගුවන්ගත කරනු ලැබුවේ 2019 වසරේ ජූලි මස 22 වනදාය. මෙය සඳ වෙත පිටත් කර හැරීමේ මූලික පරමාර්ථය වූයේ මෙතෙක් සාර්ථකව ගවේෂණය නොකළ සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබැස්ස වීමට කටයුතු කිරීම සහ සඳේ මතුපිට ඇති ජලය සහ ඛනිජ ගවේෂණය කිරීමයි. මෙය ඕබිටරයක්, ලෑන්ඩර් සහ රෝවරයකින් සමන්විතය. මේ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 150ක් වැය කළ අතර ඉන්දියාව දැඩි ලෙස විශ්වාස කරනු ලැබුවේ චන්ද්‍රයාන් -2 යනු සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබසිනු ලබන පළමු යානය වනු ඇති බවටයි. එවක ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය වන (ISRO) විසින් මෙහෙයුම් කටයුතු කරන ලද සංකීර්ණතම මෙහෙයුම මෙය බව හඳුන්වා දුන් අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වන නරේන්ද්‍ර මෝදි එය අගය කරමින් පවසා සිටියේ එම මෙහෙයුම සම්පූර්ණ වශයෙන් දේශීය කටයුත්තක් බවයි.
චන්ද්‍රයාන් 2 මෙහෙයුම ජූලි 22 වැනිදා ක්‍රියාත්මක වුවද එය අභ්‍යවකාශගත කිරීමට සැලසුම් කර තිබුණේ ජූලි 15 වැනිදාය. එහෙත් එය සතියක් ප්‍රමාද කිරීමට හේතුව වූයේ එහි පැවති දෝෂයක් හේතුවෙනි. කෙසේ වුවද චන්ද්‍රයාන් – 2 සඳහා ඔවුන් යොදා ගනු ලැබුවේ ඉන්දියාව සතු ප්‍රබලතම රොකට්ටුවක් වශයෙන් සඳහන් කරනු ලබන GSLV MK-III නම් වූ රොකට්ටුවයි. මීටර් 44ක උසකින් යුක්තවූ එය ටොන් 640ක පමණ බරින් සමන්විත විය. මෙම මෙහෙයුමට විද්‍යාඥයින් සහ ඉංජිනේරුවරුන් 1000ක් පමණ සහභාගි වී ඇතැයි පැවසෙන අතර පළමු වරට අන්තර් ග්‍රහලෝක ගවේෂණ මෙහෙයුම කාන්තාවන් සඳහා පවරා තිබුණේ මෙහිදීය. මෙම මෙහෙයුමේදී සඳ තරණය වෙනුවෙන් නායකත්වය සපයන ලද්දේද කාන්තාවන් දෙදෙනෙකි. චන්ද්‍රයාන්-2 හි සඳ ගමන ලෙසින් සඳහන් කර ඇති වශයෙන් දක්වා තිබුණේ කිලෝමීටර් 384000කි.
කොයිහැටි වෙතත් චන්ද්‍රයාන්-1 ට වඩා වැඩි තාක්ෂණික බලයක් මේ සඳහා යොදවා තිබුණ මුත් ඉන්දියාව සිතූ ආකාරයෙන් එය සාර්ථක නොවිණි. චන්ද්‍රයාන් සඳ මතුපිටට පතිත කිරීමට සූදානම් වන අවසන් මොහොතේදී මෙහෙයුම අසාර්ථක විය. මෙම මෙහෙයුම අසාර්ථක වීම සම්බන්ධයෙන් ඩේලිමේල් පුවත්පත සඳහන් කර සිටියේ එය උතුරු කොරියානු හැකර්වරුන්ගේ බලපෑමට නතුව ඇති බවට සැකකරන බවයි.
මේ සියලු කලබගෑනිවලින් අනතුරුව ඉන්දියාව ඔවුන්ගේ නවතම චන්ද්‍ර මෙහෙයුමට සූදානම් විය. ඔවුන් එය හැඳින්වූයේ චන්ද්‍රයාන්-3 යනුවෙනි. ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය වන ISRO (Indian Space Reserch Organization) විසින් අභ්‍යවකාශගත කිරීම වෙනුවෙන් ගොඩනඟන ලද මෙය සඳහා ඉන්දියානු රුපියල් බිලියන 6.1ක වියදම් කර ඇති අතර එහි බර කිලෝ ග්‍රෑම් 3900ක පමණ බරකින් යුක්තය. ISRO පවසන පරිදි සියල්ල නිසි ආකාරයෙන් සිදු වුව හොත් රෝවරය ලෑන්ඩරෙයන් පිටවී සඳ මතුපිට ඇති පාෂාණ මෙන්ම ආවාට වටා ගමන් කොට ඒවා විශ්ලේෂණය කිරීම සඳහා තීරණාත්මක වූ ඡායාරූප පෘථිවියට ලබා ගත හැකි බවයි.
ඉන්දියාවේ අනාගතය
මෙම රෝවරය උපකරණ පහක් රැගෙන යන අතර සඳ මතුපිටට යටින් සිදුවන භූ ක්‍රියාකාරකම් ගැනත්, මතුපිට සිදුවන භෞතික ලක්ෂණ පිළිබඳව සහ වායුගෝලයේ තත්ත්වය පිළිබඳවත් මේ මඟින් තොරතුරු අනාවරණය කර ගැනීමට බලාපොරොත්තු වේ. ඔවුන් පවසන ආකාරයට සඳෙහි දක්ෂිණ ධ්‍රැවය මේ වනතුරු බොහෝ දෙනකුගේ අධ්‍යයනයට ලක්ව නොමැති අතර සඳේ අඳුරු ප්‍රදේශයේ පවතින භූමි ප්‍රමාණය උත්තර ධ්‍රැවය හා බලන කළ විශාලව පවතින බැවින් ස්ථිරවම එහි ජලය තිබිය හැකි බව විශ්වාස කරයි. මෙම චන්ද්‍රයාන්-3 මෙහෙයුම ක්‍රියාත්මක වීමත් සමඟ චන්ද්‍රයාන් – 2 මෙහෙයුමේදී සඳහන් කළාක් මෙන් නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර සිටියේ ඉන්දියානුවන්ගේ බලාපොරොත්තු සහ සිහින වෙත ගමන් කරමින් සිටින බවයි. ISRO හි බලාපොරොත්තුව වන්නේ ලෑන්ඩරය සහ රෝවරය 2023 අගෝස්තු මස 23 වැනි දින සඳෙහි දක්ෂිණ ධ්‍රැව කලාපය ආසන්නයට ගොඩබසිනු ඇති බවයි. චන්ද්‍රයාන් – 3ට දින 40 කට වඩා වැඩි කාලයක් සඳ වෙත ළඟාවීමට කල්ගත වන්නේ මන්දගාමි ගමන් පථයක් භාවිත කරන බැවිනි. කෙසේ වෙතත් ඉන්දියානුවන් බලාපොරොත්තු වූ ආකාරයට චන්ද්‍රයාන් – 3 සඳ ගමන සාර්ථක වුවහොත් එය ඉන්දියාව ලැබූ විශාලතම ජයග්‍රහණයක් වනු ඇත. ඒ සඳ මතට ගිය සිවුවන රට බවට පත් වෙමිනි.
රජිත බස්නායක