Saturday, May 10, 2025
Home » පාකිස්තානයේ සුළුතර ප්‍රජාව දැඩි හිංසනයට

පාකිස්තානයේ සුළුතර ප්‍රජාව දැඩි හිංසනයට

- අමෙරිකානු වාර්තාවක් හෙළිදරවු කරයි

by sachintha
July 22, 2023 1:00 am 0 comment

ආගමික සුළුතරයන් පාකිස්තානයේදී අඛණ්ඩව පීඩාවට හා හිංසනයට ලක් වන බව අමෙරිකාව කේන්ද්‍ර කරගත් ගේට්ස්ටෝන් ආයතනයේ වාර්තාවකින් අනාවරණය වී තිබේ. ප්‍රධාන වශයෙන් හින්දු සහ ක්‍රිස්තියානි කාන්තාවන් හා දැරියන් එම පීඩාවට ලක් වන බවත්, පැහැරගෙන යෑම්, දූෂණය කිරීම් සහ වයසින් වැඩි මුස්ලිම් පුද්ගලයන්ට විවාහ කරදීම් වැනි බරපතළ මානව හිමිකම් කඩවීමේ තත්ත්වයක් පෙන්නුම් කරන බවත් ගේට්ස්ටෝන් ආයතනයේ වාර්තාවෙන් අනාවරණය වී ඇත. පාකිස්තානය යනු එහි ක්‍රමයට පරිබාහිරව කිසිවක් ගැන සැලකිල්ලක් නොදක්වන ආගමික අන්තවාදී මතයකින් බොහෝ දුරට හැඩ ගැසුණු සංස්කෘතික හා ආයතන ඇති රටක් ලෙසටත් එම ආයතනයේ වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

පාකිස්තාන ඩර්වාර් ඉටිහාඩ් නමැති සුළුතර කණ්ඩායමක ප්‍රධානියා වන ශිවා කච්චි සඳහන් කර ඇති පරිදි එවැනි සිදුවීම් හා ක්‍රියාකාරකම් පාලනය කිරීමට හෝ මැඬ පැවැත්වීමට සිදු කරනු ලබන පැමිණිලිවලට පොලිසිය කිසිදු සැලකිල්ලක් නොදක්වන අතර, එවැනි පැමිණිලි ඉදිරිපත් කරන පුද්ගලයන්ට ද නොයෙකුත් හිංසනවලට ලක්වීමට සිදුවී තිබේ.

පසුගිය ජූනි 2 වැනිදා සොහානා කුමාරි නමැති 14 හැවිරිදි හින්දු දැරියක් පැහැරගෙන ගොස් වැඩිහිටි මුස්ලිම් ජාතිකයකුට විවාහ කර දී ඇතැයි වියෝ නිවුස් පුවත් සේවය වාර්තා කළේය. ඇගේ පියා ප්‍රකාශ කර ඇත්තේ මිනිසුන් තිදෙනකු තම නිවසට පැන රන් ආභරණ සොරකම් කර ප්‍රචණ්ඩ අයුරින් තර්ජනය කිරිමෙන් පසු දැරිය පැහැරගෙන ගිය බවය. මේ සම්බන්ධව දැරියගේ පියා විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලට කඩිනම් ප්‍රතිචාරයක් ද නොදක්වා ඇති අතර, පසුව තමා මුස්ලිම් ජාතිකයකු සමඟ විවාහ වූ බවට දැරිය විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් පමණක් දැරියගේ පියාට ලැබී ඇතැයි ද වාර්තා වේ.

මේ සම්බන්ධව පසුව අධිකරණයට වාර්තා වී ඇති අතර, එම නඩුව විභාගයට ගත් අධිකරණය ඇය පරිවාසයට යොමු කර තිබූ බවත්, පසුව ඇගේ මාපියන්ට නැවත බාර දී තිබූ බවත් එම වාර්තාවෙන් සඳහන් වේ. කෙසේ වෙතත් ඇය පැහැරගනු ලැබූ පුද්ගලයන්ට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට කටයුතු කර නැති බවද වැඩිදුරටත් වාර්තා වේ.

පසුගිය වසරේදී නිකුත් කර ඇති එම වාර්තාවට අනුව පාකිස්තානයේ ජීවත්වන සුළුතර ප්‍රජාවගේ අයිතීන් ආරක්ෂා කිරීම එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වූවද, ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වීමේදි දුර්වල තත්ත්වයක් පවතී. ඉස්ලාමීය රාජ්‍යයක් වන පාකිස්තානයේ ජනගහනයෙන් 96.47%කට වඩා මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන අතර, සුළුතර ජාතීන්ගේ සංඛ්‍යාව 3.52%ක් බව ද සඳහන් වේ.

පසුගිය කාලය තුළ පාකිස්තානයේ සුළුතර ප්‍රජාවේ අවුරුදු 12 සහ අවුරුදු 16 අතර බොහෝ දැරිවියන් මෙසේ පැහැරගෙන යෑමට සහ බලහත්කාරයෙන් ඉස්ලාම් දහමට හරවා පසුව විවාහ කරදීම් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, එම විවාහයන් වැඩි ප්‍රමාණයක් දැරියන්ගේ වයසට වඩා දෙගුණයකින් හෝ තෙගුණයකින් වැඩිමල් අය බව ද හෙළි වී තිබේ. සුළුතර ප්‍රජාවේ ළමා මනාලියන් ප්‍රචණ්ඩත්වයට හා අපයෝජනයට ලක්වීම බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය වීමක් බවත් අමෙරිකාව පදනම් කරගත් ගේට්ස්ටෝන් ආයතනයේ වාර්තාවෙන් වැඩිදුරටත් සඳහන් වේ.

වසර 1929 ළමා විවාහ තහනම් කිරීමේ පනත යටතේ එය අපරාධයක් බවත්, ඒ සඳහා වැරදිකරුවන් වීම වැළැක්වීමට වින්දිතයන් සියලුදෙනාගේම වයස ව්‍යාජ ලෙස අවුරුදු 18 හෝ ඊට වැඩි වශයෙන් වුවමනාවෙන්ම වෙනස් කරමින් එම විවාහයන් සිදු කරන බවත් එම ආයතනයේ වාර්තාවෙන් පෙන්වා දී තිබේ. මෙවැනි ක්‍රියාකාරකම්වල නිරතවන්නන්ගේ බලපෑම් හේතුවෙන් අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස අධිකරණයට පෙත්සම් ගොනු කිරීමට සුළුතර ප්‍රජාවට කිසිදු ඉඩක් නොලැබෙන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT