විද්‍යාත්මක සැලසුම් සහගත සමෘද්ධි ව්‍යාපාරය දුර්වල කිරීමට හා අඩපණ කිරීමට රජය කටයුතු නොකරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
සමෘද්ධි ව්‍යාපාරය මෙතරම් සාර්ථක කිරීමට සමෘද්ධි නිලධාරීන්ගෙන් නොමඳ සහායක් ලැබෙන බවද ඇමැතිවරයා පැවසීය.
2022-2024 අධ්‍යයන වර්ෂයන්ට අදාළව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හදාරන සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවයකට පෙරේදා (20) සහභාගි වෙමින් ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.
එහිදී සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වල සිසු සිසුවියන් 192ක් සඳහා මාසිකව රුපියල් 1500 බැගින් ශිෂ්‍යත්ව ලබා දෙනු ලැබීය. මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති එම උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
චන්ද්‍රිකා මැතිනියගේ සමයේදී සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කළේ රටේ දුප්පත්කම නැති කරන්නයි. ඊට පසුව බලයට පත්වුණු සෑම රජයක්ම සමෘද්ධි ව්‍යාපාරය ඉතාම ශක්තිමත්ව අඛණ්ඩය ඉදිරියට ගෙන ගියා. සමෘද්ධි ව්‍යාපාරයේ ඒකායන අපේක්ෂාව ජනතාව ඉතිරි කිරීම්වලට පොලඹවා නව ස්ථිර ආදායම් මාර්ග විශේෂයෙන්ම ස්වයං රැකියා ජනිත කර දුප්පත් ජනතාවට ස්වශක්තියෙන් නැඟී සිටීමට ධෛර්යමත් කිරීමයි. බලයට පත්වුණු සෑම රජයක්ම නිදහස් සෞඛ්‍යයට, නිදහස් අධ්‍යාපනයට මෙන්ම සමෘද්ධි ව්‍යාපාරයටත් ඉතා විශාල මුදලක් වැය කරනවා.
මේ වන විට සමෘද්ධි ව්‍යාපාරය බැංකු ක්‍රමයක් දක්වාම වර්ධනය වෙලා තිබෙනවා. සමෘද්ධිලාභී පවුල්වල ජනජීවිතය නැංවීමට හා එම පවුල්වල සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය මේ වන විට ඉතා විශාල සහායක් දක්වනවා. දශක දෙකකට වැඩි මගේ දේශපාලන ජීවිතයේ බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ධුරය දරන සමයේදී මම අධ්‍යාපන අමාත්‍ය හා සමෘද්ධි විෂයන් දැරුවා. ඒ විෂයන් දෙකම මම ඉතාම කැමැති විෂයන් දෙකක්.
සමෘද්ධි ව්‍යාපාරය ඉතාම විද්‍යාත්මක සැලසුම් සහගත වැඩපිළිවෙළක්. ඒ නිසා සමෘද්ධි ව්‍යාපාරය දුර්වල කිරීමට හා අඩපණ කිරීමට රජය කටයුතු කරන්නේ නැහැ. හීනෙන්වත් එහෙම හිතන්න එපා කියා අපි ජනතාවගෙන් ඉල්ලනවා. සමෘද්ධි ව්‍යාපාරය ජනතාවට සමීප කරවන්න එම වැඩසටහනේ ඉන්න නිලධාරීන්ගෙන් විශාල සහායක් ලැබෙනවා. සමෘද්ධි නිලධාරීන්ගෙන් සහායක් ලැබෙන්නේ නැත්නම් මේ ව්‍යාපාරය මෙච්චර සාර්ථකව ක්‍රියාත්මක කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.
ඉතාම දියුණු ශක්තිමත් සමාජ හා ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් සමෘද්ධි ව්‍යාපාරය හරහා ක්‍රියාත්මක කරන්න අපි ක්‍රියා කරනවා. ඒ ගමනේදී අපිට විවිධ අභියෝගවලට මුහුණ දෙන්න වේවි. රට දැනටමත් ආර්ථික අභියෝගවලට මුහුණ දී සිටිනවා. නමුත් සමෘද්ධිය හා සුබසාධන දීමනා කප්පාදු කරන්න රජය සූදානම් නැහැ. සමෘද්ධි ව්‍යාපාරය නිසා විශාල පිරිසක් සැනසීමෙන් ජීවත් වෙනවා. ජන ජීවිතයට තව තවත් ශක්තියක් දෙමින් අභියෝග හමුවේත් සමෘද්ධි ව්‍යාපාරය ඉදිරියටත් පවත්වාගෙන යෑමට රජය කටයුතු කරනවා යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා, මිනුවන්ගොඩ සමෘද්ධි මූලස්ථාන කළමනාකාරීනී නයනා ගුණතිලක මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
උපාලි කරුණාරත්න