සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහත්වරුන්ට එරෙහි අල්ලස් නඩුව නීත්‍යනුකූලව ගොනු කර නොමැති බැවින් විත්තිකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණයට ඊයේ (21) ඉදිරිපත් කළේය.
කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා මූලික විරෝධතාව ලිඛිතව ඉදිරිපත් කරමින් කියා සිටියේ විත්තිකරුවන්ට එරෙහි අල්ලස් කොමිසමේ විමර්ශන නීත්‍යනුකූලව සිදු කර නොමැති බවය.
අල්ලස් පනතේ තුන සහ හතර වගන්ති ප්‍රකාරව පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතිය අවශ්‍ය බවත්, විත්තිකරුවන්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතිය ලැබී නොමැති බවත්, මූලික විරෝධතා ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
විත්තිකරුවන් වෙනුවෙන් වෙන් වෙන්ව ඉදිරිපත් කළ විරෝධතා සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ලේ ප්‍රතිවිරෝධතා අගෝස්තු 20 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කළේය.
විත්තිකරුවන් වන සෞඛ්‍යය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා කොළඹ මහාධිකරණය හමුවේ පෙනීයේය.
විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස, නීතිඥ රංජිත් හීල්ලගේ මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.
රෝෂන් තුෂාර