ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වනුයේ ආයෝජන අවස්ථා සහ දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමේ ක්‍රමෝපායික වැඩපිළිවෙළක් සමඟ බව එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය පැවසුවාය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පෙරේදා (20) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.
එහිදී කෝන්ගහගේ මහත්මිය මෙසේ ද කීවාය.
ජනපතිගේ පදවි ප්‍රාප්තිය උත්සව නැතිව ඉතාම ගෞරවනීය ලෙස සමරන්න හැකි නිදහස් රටක් යළි බිහිකර තිබෙනවා.
මේ රටට අවශ්‍ය විදේශ සංචිත නැතිව රට ඇදගෙන වැටිලා හිටපු මොහොතක මෙරට අද සීරුවෙන් හිටගෙන ඉන්න පුළුවන් වාතාවරණය ඇති කර තියෙනවා.
අපේ විදේශ සංචිතවල ඉතිරිව තිබුණේ ඩොලර් මිලියන විස්සක් පමණයි. අමෙරිකානු ඩොලර් බිලියන 3 – 4 ආසන්නව එය වර්ධනය කර ගැනීමේ හැකියාව අද වන විට ලැබී තිබෙනවා. පසුගිය කාලය පුරාම ජනාධිපතිවරයා ජනතාවට කීවේ අපට තිත්ත කසාය බොන්න වෙලා තිබෙනවා. ඒකට සූදානම් වෙන්න කියලයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් ජනතාව දැනුම්වත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින් ක්‍රමානුකූලව මේ රට ඉදිරියට අරගෙන යනවා.
ඉන්දියාවේ මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය ගැන එදා ජාත්‍යන්තර කාන්තා දිනයේ දී එතුමා සඳහන් කළා. ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය එදා අප වැටී ඉන්න වෙලාවෙදි අපට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් බෙහෙත් ලබා දී, ඒ වගේම ආර්ථිකය ගොඩගන්නට ආධාර ලබා දී දුන් සහායට අප අවංකව ස්තුතිවන්ත විය යුතුයි. මේ මොහොතේ ජනාධිපති ඉන්දියාවේ සංචාරය කරන්නේ පෙර වසරටත් වඩා ආයෝජන අවස්ථා සහ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමේ ක්‍රමෝපායික වැඩපිළිවෙළක් සමඟයි. ඒ නිසාම මෝදි අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කළේ ඉදිරි වසරේ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් විශේෂ වැඩසටහන් වෙනුවෙන් දායක වීමේ අපේක්ෂාවෙන් බව අප හොඳාකාරව දන්නවා.
ඒ වගේම අපට විදුලි බිල වැඩි කරන්න සිදු වුණා. ඒ වගේම බදු ප්‍රතිපත්තිය වෙනස් කර අලුත් බදු ෆයිල් විවෘත කර, බදු ප්‍රතිශතය ඉහළ දමන ක්‍රියාමාර්ගවලට යොමු වෙන්න සිදු වුණා. රාජ්‍ය වියදම් පරිපාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා. එයින් පෙනෙන්නේ සමස්ත රටම සියලු දේවල් විඳදරා ගනිමින් යහපත් හෙටක් වෙනුවෙන් නිසි ප්‍රතිපත්තියක ගමන් කරනවා කියන කාරණයයි. රාජ්‍ය වියදම් විනයක් ඇතිව පාලනය කිරීම උදෙසා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ වගේම පළාත් සභා ක්‍රමවේදයත් එක්ක දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම ගැන ජනාධිපතිවරයාගේ මැදිහත්වීම ප්‍රකාශයට පත් කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරුන්ට වඩා එහා ගිය විශේෂ වැඩපිළිවෙළක් සහ එකඟතාවක් සහිතව රට ඉදිරියට යෑම වෙනුවෙන් ජනාධිපතිවරයා ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඒ වගේම අපේ රටේ බංකොලොත්භාවය අගෝස්තු මාසයෙන් පස්සේ ඉවත් කිරීමට සූදානම් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම සතුටුදායක ආරංචියක්.
දේශපාලනය කිරීමට අපට රටක් තිබිය යුතුයි.
විපක්ෂය එය මුලින්ම දැන ගත යුතුයි. දළදා පෙරහරේ විදුලි බිල පිළිබඳව විපක්ෂ නායකවරයා කතා කරනවා. මේවා ඇත්තටම ඉතාම බොළඳ කතා. ජී.එස්.පී. සහනය ලංකාවට තිබෙන්නේ මේ දෙසැම්බර් වෙනකම් විතරයි කියා විපක්ෂ නායකයා කියනවා.
එහෙම වෙනවා නම් සජිත් ප්‍රේමදාසට සතුටුයි ද? මේ රටේ ජනතාව වෙනුවෙන් දෙයක් අහිමි වෙද්දී ඒක ලබා ගන්න උත්සාහ කරනවා මිස ඒ වෙනුවෙන් සතුටු වීම දේශපාලනඥයෙක් වශයෙන් කොච්චර උචිත ද යන්න සිතා බැලිය යුතුයි.
2027 වෙනකම් යුරෝපා සංගමය විසින් ජී.එස්.පී. සහනය අපට දී තිබෙනවා. ඒක සතුටට කාරණයක්. කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීනි සඳමාලි උළුවඩුගේ මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූවාය.
ශිරෝමි අබයසිංහ