Home » අතුරුදන් වූ මවගේ සහ බිලිඳියගේ සිරුරු අඟුරුවාතොට පාළු කැලයක

අතුරුදන් වූ මවගේ සහ බිලිඳියගේ සිරුරු අඟුරුවාතොට පාළු කැලයක

-අත්අඩංගුවට ගෙන මුදාහැර සිටි මස්සිනා ප්‍රදේශයෙන් පැන ගිහින්

by sachintha
July 22, 2023 1:00 am 0 comment

මස්සිනා ගෙදරට එන එක කරදරයක් බව බිරිය දින කීපයකට පෙර දෙපාරක් මට කීවා

වැඩක් භාරගෙන තියෙනවා එන්නෙ කීයටදැයි මස්සිනා මගෙන් කෝල් කරලා ඇහුවා – සැමියා

දින තුනකට පෙර අතුරුදන් වූ රූමත් තරුණ මව සහ මාස 11ක් වයසැති ඇගේ එකම දියණිය අමානුෂික ලෙස ඝාතනය කර අඟුරුවාතොට රත්මල්දෙණිය කැලෑ පෙදෙසක දමා තිබියදී ඊයේ (21) පෙරවරුවේ හමු වූ බව අඟුරුවාතොට පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. වාසනා කුමාරි (24) සහ ඇයගේ එකම දියණිය වන ටශ්මි දිලන්යා (මාස 11) දැරියයි.

නිවෙසින් අතුරුදන්ව ඝාතනයට ලක් වූ කාන්තාව පරිහරණය කළ තුවාය ද මළසිරුර අසල තිබී පොලිසිය මඟින් සොයා ගෙන ඇත.

මේ සිද්ධියත් සමඟ සැකපිට පොලිස් භාරයට ගෙන මුදා හැර සිටි මස්සිනා වන හිටපු හමුදා සෙබළා ප්‍රදේශය හැර පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

අතුරුදන් වූ කාන්තාවගේ සැමියා ඉකුත්දා (18) රාත්‍රියේ අඟුරුවාතොට පොලිසියට පැමිණ එදින සවස සිට තම බිරිය මාස 11ක් වයසැති දියණිය සමඟ නිවෙසින් අතුරුදන්ව ඇති බවත් සවස් වරුවේ තම මස්සිනා ද නිවෙසට පැමිණ ඇති බවත් ඔහු සම්බන්ධයෙන් සැකයක් පවතින බවත් පවසමින් පැමිණිල්ලක් කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

එදින මස්සිනා තමන්ට දුරකතන ඇමතුමක් ද දී Òවැඩක් භාරගෙන තියෙනවා එන්නෙ කීයටදැයිÓ අසා ඇති බවත් තමා රෑ බෝ වන බව පැවසීමෙන් අනතුරුව ඔහු දුරකතනය විසන්ධි කළ බවත් පැමිණිලිකාර සැමියා පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

මස්සිනා තමා නිවෙසේ නැති අවස්ථාවලදී. පැමිණ සිටීම කරදරයක් බව බිරිය මීට දින කීපයකට ඉහත දී අවස්ථා දෙකක දී තමාට පවසා තිබූ බව සැමියා පොලිස් නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණි.

පැමිණිල්ලෙන් පසු නිවෙස වෙත පැමිණි පොලිස් නිලධාරීන් කළ මූලික විමර්ශනවල දී නිවෙසේ මුළුතැන්ගෙයි කොටසේ ශීතකරණයේ දොරේ ලේ පැල්ලම් කිහිපයක් සහ ඒ අසල බිම මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් දක්නට ලැබීමෙන් අනතුරුව කිසියම් අපරාධයක් වී ඇති බවට සැකකර විමර්ශන සිදු කෙරිණි.

යම් වැදගත් හෝඩුවාවක් අනාවරණය කර ගැනීමට එම ස්ථානයට රැගෙන ආ පොලිස් නිල සුනඛ බෲනෝට ඉව කිරීම සඳහා ඝාතනයට ලක් වූ කාන්තාව පරිහරණය කළ තුවාය නිවෙසේ සෑම අස්සක් මුල්ලක් නෑරම සොයා බැලුව ද එය ද නිවෙසින් අස්ථාන ගත වී තිබිණි.

අනතුරුව මියගිය කාන්තාව පරිහරණය කළ පාවහන් යුගලක් සහ පනාවක් බෲනෝට ඉව කිරීමට සැලසීමෙන් අනතුරුව සුනඛයා ඝාතනයට ලක් වූ කාන්තාවගේ නිවෙස ආසන්නයේ නවතා තිබූ දැනට සැකයට භාජනය වී සිටින ප්‍රදේශය හැර පලා ගොස් සිටින හිටපු හමුදා සෙබළාට (මස්සිනා) අයත් ත්‍රිරෝද රථය අසලට පැමිණ නතර වී තිබූ බව පොලිසිය කියයි. අතුරුදන් වූ මව සහ බිලිඳිය සොයා ගැනීමට කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් 5ක් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදවා ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමේ දී මවගේ සහ බිලිඳියගේ මළසිරුරු සොයා ගැනීමට හැකි වී ඇත.

අඟුරුවාතොට රත්මල්දෙණිය ප්‍රදේශයේ කැලෑවක උඩුබැලි අතට මවගේ හා බිලිඳියගේ මළසිරුරු හමු වී ඇති අතර, ඒ වන විටත් මවගේ උදරය සහ රහස් ප්‍රදේශය කබරු විසින් කා දමා තිබූ බවත් බිලිඳියගේ සිරුර ඊට මීටර් පහළොවක් පමණ ඈතින් වූ කටුපොල් ගසක් ආසන්නයේ තිබූ බවත් පොලිසිය පවසයි.

මවගේ මළසිරුර අසලම තිබූ බිලිඳියගේ මළසිරුර කබරුන් විසින් ඇඳගෙන යන්නට ඇතැයි සැක කරන පොලිසිය ඇයගේ හිස කොටස කබරු කා දමා තිබිණි.

රූමත් තරුණ මවගේ සහ බිලිඳියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකයට භාජනය වී සිටින පලා ගොස් සිටින හිටපු හමුදා සෙබළා විසින් රූමත් තරුණ මවට යම් ලිංගික අතවරයක් කිරීමට උත්සාහ දැරීමේදී ඇය ඊට විරෝධය පෑම හේතුවෙන් ඇති වූ සිද්ධියක දී ඇය සිහි නැතිවීමෙන් හෝ මියයෑමෙන් පසු හිටපු හමුදා සෙබළා එම කාන්තාව තුවායේ ඔතා බිලිඳිය සමඟ ඔහුට අයත් ත්‍රිරෝද රථයෙන් කැලෑවට රැගෙන විත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි. සිද්ධිය වූ දින සැකකරු ඔහුට අයත් ත්‍රිරෝද රථයෙන් එහි පිටුපස සුදු පාටට හුරු දෙයක් දමාගෙන යන අයුරු සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබී පොලිසිය මගින් සොයාගෙන තිබිණි.

මළ සිරුරු තිබූ ස්ථානය වෙත හොරණ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය පනිත සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණ විමර්ශන සිදු කළහ.

එම ස්ථානය වෙත පැමිණ සිටි පාණදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් කුමාර, උප පොලිස් පරීක්ෂක වීරසිංහ, පොලිස් සැරයන් තිලකරත්න හා කාන්තා පොලිස් කොස්තාපල් (6921) සරෝජනී මහත්ම මහත්මීන් පරීක්ෂණ පැවැත්වුහ.

මේ වන විට ප්‍රදේශය හැර පලා ගොස් සිටින හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් ලැබුණු බුද්ධි තොරතුරු අනුව ප්‍රදේශ කීපයක් වෙත පිටත් කර යවා ඇතැයි පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා පැවසීය.

රූමත් තරුණ මව සහ බිලිඳියගේ මළසිරුරු රත්මල්දෙණිය කැලෑවේ තිබෙන බවට ප්‍රදේශයේ පුරා ප්‍රචාරය වීමත් සමඟම විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියහ.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුගතපාල, පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාර මහත්වරුන්ගේ උපදෙස් මත අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිශ්ශංක, පොලිස් සැරයන් මහින්ද මහත්වරුන් මෙන්ම අළුබෝමුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා මහතා ඇතුළු නිලධාරීන් ද පාණදුර කොට්ඨාස බුද්ධි ඒකකයේ නිලධාරීන් ද මේ ස්ථානයට පැමිණ විමර්ශන කළහ.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ,හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ, පොතුපිටිය – සුමිත්

ප්‍රේමතිලක, අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT