Home » හම්බන්තොට අක්කර 45000ක් නියඟයෙන් විනාශ වීමේ අවදානමක්

හම්බන්තොට අක්කර 45000ක් නියඟයෙන් විනාශ වීමේ අවදානමක්

by sachintha
July 22, 2023 1:00 am 0 comment

මේ දිනවල පවතින නියඟය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 45000ක් විනාශ වීමේ අවදානමක් පවතින බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

මේ නියං තත්ත්වය තවත් දිස්ත්‍රික්ක කීපයක කුඹුරුවලට බලපා තිබෙන අතර, මෙවර යල කන්නයේ අපේක්ෂිත වී අස්වැන්නට ඉන් බලපෑම් සිදුවිය හැකි බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

මේ අනුව දැනට රුපියල් 95ක් වශයෙන් මිල දී ගන්නා වී කිලෝවක් ඉදිරි කාලයේ රුපියල් 100 ඉක්මවා ඉහළ යා හැකි තත්ත්වයක් පවතින බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

පසුගියදා (17) අනුරාධපුර දිස්ත්‍රික් ගොවි නියෝජිත පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

රටේ දැනට පවතින වී මිල, නිෂ්පාදන වියදම් අවම කර ගැනීම, ගොයම් පෑගීම හා අස්වනු නෙළා ගැනීම සඳහා වැයවන වියදම් අවම කිරීම, රජය මඟින් ගොවි ජනතාවට දෙන සහනාධාර විධිමත් පරිදි කලට වේලාවට ගොවි ජනතාවට ලබා දීම හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කර තැබීම සම්බන්ධයෙන් ගොවි නියෝජිතයෝ මෙහිදී කරුණු ඉදිරිපත් කළහ.

මෙහිදී අදහස් දැක්වු ඇමැති අමරවීර මහතා පෙන්වා දුන්නේ වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගනු ලබන්නේ සියයට 08ක පොලියට රාජ්‍ය බැංකුවකින් ගත් ණය මුදලක් මත බවයි. දැනට රුපියල් 95ක මුදලට වී මිල දී ගැනීමට තීරණය කරන ලද්දේ මුදල් අමාත්‍යාංශයේ මුදල් කමිටුව තීරණය කළ මිල මත බවත් ඇමැතිවරයා පැවසීය.

අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT