පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් නිලධාරිනියක විවෘත අධිකරණයේ ඉදිරිපත් කළ සාක්ෂි නිර්ව්‍යාජ නොවන, සැක සහිත සාක්ෂි බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නඩු විභාගය අතරමඟ නතර කර හෙරොයින් ජාවාරම් කළේයැයි චෝදනා ලත් සැකකාරියක නිදහස් කිරීමට ඊයේ (21) නියෝග කළේය.
හෙරොයින් ග්‍රෑම් එකකට වඩා වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ වරදට අධි චෝදනා ලත් ගල්කිස්සේ පදිංචි තිදරු මවක වන ජිනාදරී සුරංගිකා මෙසේ නිදොස් කොට නිදහස් කරනු ලැබුවාය.
ඊයේ මේ නඩුව කැඳවූ අවස්ථාවේ වැටලීමට සහභාගි වූයේ යැයි කියන පොලිස් නිලධාරිනියද සාක්ෂි දුන්නාය.
2019 නොවැම්බර් 11 දින ප.ව. 6.17ට ගල්කිස්ස ප්‍රදේශයේ මෙහෙයුමකට සහභාගි වූ තමා පසුදින අලුයම 2.35ට මෙහෙයුම අවසන්ව මූලස්ථානයට පැමිණි බව ඇය එහිදී සඳහන් කළාය. සාක්ෂිකාරිය සාක්ෂි දෙන අතරතුර පැමිණීමේ ලේඛනය අතට ගෙන පරික්ෂා කළ මහාධිකරණ විනිසුරුවරයා සාක්ෂිකාරිය සේවය නිම වී පිටව ගියේ කීයට දැයි විමසීය.
විනිසුරුවරයා නැවත දුන් පැමිණීමේ ලේඛන පරීක්ෂා කළ සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ අලුයම 2.03ට තමා පිටව ගොස් ඇති බවයි. මෙසේ පරස්පර වේලාවක් සටහන් වීම සම්බන්ධයෙන් කීමට යමක් ඇද්දැයි රජයේ නීතිඥවරියක ප්‍රශ්න කර සිටි අතර, සාක්ෂිකාරිය ඊට කිසිදු පිළිතුරක් නොදුන්නාය.
විත්තිකාරිය සන්තකයේ තිබූ හෙරොයින් අත්අඩංගුවට ගත්තේ යැයි කියන සාක්ෂිකාරිය දුන් සාක්ෂිය නිර්ව්‍යාජ නොවන සාක්ෂියක් බවත්, ඒ අනුව නඩුව තවදුරටත් විභාගයට ගැනීම නිෂ්ඵල කාර්යයක් බවත් තීරණය කළ මහාධිකරණ විනිසුරුවරයා සිය අභිමතානුසාරි බලය අනුව නඩුව නිෂ්ප්‍රභ කර, විත්තිකාරිය නිදොස් කොට නිදහස් කරන බව තීන්දු කළේය.
රෝෂන් තුෂාර