සෝන්ඩර්ස් – මාලිගාවත්ත යූත් අතර තරගයේ අවස්ථාවක්.
සිටිලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් වටයේ තරග ආරම්භ කරමින් අද පස්වරු 3.30ට කොළඹ පාපන්දු සමාජය – ජාවාලේන් අතර තරගය හා හෙට එම වේලාවටම මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය – මාලිගාවත්ත යූත් පිල තරග බිමට පිවිසේ.
කොළඹ පාපන්දු සමාජය හා ජාවාලේන් අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසෙන අතර, පරාජිත කණ්ඩායම මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය හා මාලිගාවත්ත යූත් පිල අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමඟ යළි තරග කිරීම අවසන් වටයේ තරග සැලසුම වේ. එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව උදාකර ගනී.
කොළඹ සිටිලීග් පිටියේ පැවැත්වෙන මේ තරගාවලියේ පසුගිය ශූර සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය පසුගිය සති අන්තයේදී කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි මාලිගාවත්ත යූත් පිල වෙතින් ගෝල් 3-1කින් පරාජයවීමත් සමඟ තරගාවලිය කෙරෙහි විශාල අවධානයක් යොමුව තිබේ. නිමාවූ සති අන්තයේ පැවති මූලික වටයේ අනෙක් තරගයේදී ජාවාලේන් පරදවා ගෝල් 1-0කින් ජයග්‍රහණය වාර්තා කිරීමට සිටිලීග් සභාපති කුසලානය තෙවරක් දිනා ඇති කෙළඹ පාපන්දු සමාජය සමත් විය.
මේ පාපන්දු තරගාවලියේ තරග 4කදී ජයග්‍රහණ දෙකක් හා ජය පරාජයෙන් තොරව තරග 2ක් නිමා කරමින් ප්‍රසාද ලකුණු 8ක් හිමි කර ගත් කොළඹ පාපන්දු සමාජය අපරාජිතව ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය. ප්‍රබල ජාවාලේන් ක්‍රීඩා සමාජය තරග 4කදී ජයග්‍රහණ 2ක්, තරගයකදී පරාජයක් හා ජය පරාජයෙන් තොරව තරගයක් නිමා කොට ප්‍රසාද ලකුණු 7ක් හිමි කර දෙවැනි ස්ථානයට පැමිණියේය. මේ හේතුවෙන් අංක එකේ සිටි කොළඹ හා අංක දෙකේ සිටි ජාවාලේන් අවසන් පූර්ව වටයේදී යළි හමුවීම සිදුවේ.
මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය තරග 4කදී තරගයක් ජයගෙන තරගයක් පරාජයවී තරග 2ක් ජය පරාජයෙන් තොරව නිමා කළ හෙයින් ලකුණු 5ක් ලබා තෙවැනි ස්ථානයට හා මාලිගාවත්ත යූත් පිල තරග 4කදී තරගයක් ජයගෙන තරග 3ක් පරාජයවී ලකුණු 3ක් ලබා සිවුවැනි ස්ථානයට පත්විය.
6 වැනි වරට පැවැත්වෙන සිටිලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට රු. 150,000ක් හා අනුශූරයන්ට රු. 100,000ක් පිරිනැමෙන අතර, සෑම තරගයකම දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට තෑගි පිරිනැමීමට කටයුතු යොදා ඇත.
ප්‍රින්ස් ගුණසේකර