සුළඟේ ආ ගිනි පුළිගුවකින් පුත්තලම මදුරගම ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක් ගිනිගෙන විනාශවී ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.
අපනයනය කරන කොහු සැකසීමේ කර්මාන්ත ශාලාවකට මෙහි නිෂ්පාදිත කොහු දෙන බව කියයි.
පොලිසිය පවසන්නේ මේ කොහු කර්මාන්ත ශාලාව ආසන්නයේ පිහිටි කැලෑවක් සහිත ඉඩමක ඇති වු ගිනි ගැනීමකින් පසුව එහි ගිනි පුළිගුවක් මේ කොහු කර්මාන්ත ශාලාවේ කොහු මතට වැටීමෙන් මේ ගිනි ගැනීම සිදුව ඇති බවයි. පසුව කර්මාන්ත ශාලාව පුරාම ගින්න පැතිරී ගොස් ඇති අතර, ගබඩා කර තිබු කොහු විශාල ප්‍රමාණයක් ගිනිගෙන විනාශවී ඇත.
මේ ගිනි ගැනීමත් සමඟ තම්බපණ්ණී නාවික හමුදා කඳවුරේ ගිනි නිවන ඒකකය සහ පුත්තලම නගර සභා ගිනි නිවීමේ ඒකකයේ පිරිස් පැමිණ ගින්න පාලනය කර තිබුණ ද ඒ වන විටත් කර්මාන්ත ශාලාවේ ගින්න පැතිරී ගොස් හමාරය. හිමිකරුවන් පවසන්නේ තම කර්මාන්ත ශාලාවට සිදුව ඇති හානිය රුපියල් කෝටිය ඉක්මවන බවයි.
පුත්තලම මුලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.