කෑගල්ල, ගලිගමුව, දෙඹටන්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවට නමක් හා ලිපිනයක් දී කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර සිටි පුද්ගලයකු මියගොස් මාස හතරක කාලයක් ගත වුවද දේහය භාර ගැනීමට මෙතෙක් භාරකරුවකු හෝ ඥාතීන් ඉදිරිපත් වී නැතැයි කෑගල්ල රෝහල් පොලිසිය පෙරේදා (25) පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ පී.ජී.ඒ.එම්. සුනිල් කරුණාරත්න නමැති 59 හැවිරිදි පුද්ගලයෙකි.
මරණය සම්බන්ධයෙන් පොලිසිය කියා සිටියේ කෑගල්ල, ගලිගමුව, දෙඹටන්පිටිය ප්‍රදේශයේ 59 හැවිරිදි පුද්ගලයෙක් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉකුත් මාර්තු 23 වැනිදා දිසානායක නමැති පුද්ගලයකු විසින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති බවත්, පසුව ඔහු කෑගල්ල මහ රෝහලේ අංක 6 වාට්ටුවට යොමු කර ඇති බවත්ය. පසුව රෝගියා දින හයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා මාර්තු 29 වැනිදා මියගොස් ඇති අතර, එදා සිට මේ දක්වා මාස හතරකට ආසන්න කාලයක් දේහය කෑගල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් පොලිසිය පැවසීය. මියගිය පුද්ගලයාගේ ඥාතීන් දේහය භාර ගැනීමට පැමිණෙන තෙක් බලා සිට ඇති පොලිසිය කිසිවකු ඉදිරිපත් නොවුණු අවස්ථාවේදී භාරකරු රෝහලට දී තිබුණු ලිපිනය ඔස්සේ විමර්ශනයක් කර භාරකරුට හෝ දේහය භාර දීමට තීන්දු කර ඇත. කෙසේ වෙතත් පොලිසිය ගලිගමුව දෙඹටන්පිටිය ප්‍රදේශය පුරා මරණකරු සම්බන්ධයෙන් සෝදිසි කළද එම පුද්ගලයා හෝ භාරකරු ලෙස නම දී ඇති පුද්ගලයා එම ගම්මානයේ නොමැති බවට අනාවරණය වී තිබේ.
කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්