Tuesday, May 6, 2025
Home » කටාර් රැකියා ලබාදීමට මුදල් ලබාගත් අයෙකු අත්අඩංගුවට

කටාර් රැකියා ලබාදීමට මුදල් ලබාගත් අයෙකු අත්අඩංගුවට

by chanaka
August 3, 2023 11:40 am 0 comment

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කටාර් රාජ්‍යයේ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 31 වැනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

නව කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි අයෙකු විසින් කටාර් රාජ්‍යයේ රැකියා ලබාදීම සඳහා තමන්ගෙන් රුපියල් 515,000ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට, මහනුවර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු විසින් කාර්යාංශය වෙත පැමිණිලි කර තිබේ. ඒ අනුව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අදාළ සැකකරු කාර්යාංශය වෙත කැඳවූ අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් ලබාගැනීම හා පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදීමේ චෝදනාව මත සැකකරු 2023.08.01 දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමටත් අගෝස්තු මස 11 වැනිදා නඩුව යළි කැඳවීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT