Tuesday, May 6, 2025
Home » මත් ද්‍රව්‍යවලට යොමුව සිටින්නන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීමේ අවස්ථාව

මත් ද්‍රව්‍යවලට යොමුව සිටින්නන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීමේ අවස්ථාව

by chanaka
August 3, 2023 4:22 pm 0 comment

මත් ද්‍රව්‍යවලට යොමුව සිටින පුද්ගලයින්ට ස්වේච්ඡාවෙන් පැමිණ පුනරුත්ථාපනය වීමේ අවස්ථාව ලබා දී තිබෙන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා මේ බව කියා සිටියේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ පවතින පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය ඉටු කළ ජාතික කාර්ය භාරය සහ ඉලක්ක පිළිබදව මහ ජනතාව දැනුවත් කිරීම සදහා අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා මෙසේ ද සදහන් කළේය.

මෙරට තුළ පැවති තිස් වසරක යුද්ධය අවසන් වු පසු එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයින් වශයෙන් සිටි පුද්ගලයින් දොළොස් දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් පුනරුත්ථාපනය කර සමාජ ගත කළා. ඔවුන් පුනරුත්ථාපනය කිරීම අවසන් වු පසුව මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වුවන් යහපත් පුද්ගලයින් ලෙස සමාජ ගත කිරීමේ වගකීම පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය විසින් සිදු කරනු ලබනවා. මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවීම හේතුවෙන් පුනරුත්ථාපනය වන පුද්ගලයින්ට සමාජය පිළි ගන්නා යහපත් පුරවැසියන් ලෙස සමාජගතවීම සදහා පුහුණුවීම් ඔවුන්ට ලබා දෙනවා. ඒ අනුව ආපදා කළමනාකරණය පිළිබදව පුහුණුව, වෘත්තිය පාඨමාලා පිළිබදව පුහුණුව ලබාදී පසුව සහතික ලබාදීම සිදු කරනවා. ඊට අමතරව බැකෝ යන්ත්‍ර, ඩෝසර් යන්ත්‍ර පිළිබදව පුහුණුවීම් ලබාදී විදේශ රැකියා සදහා යොමු වීමේ අවස්ථාව ලබා දී තිබෙන අතර, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය යටතේ විශේෂ පුහුණුව ලබා ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා. පුනරුත්ථාපනය වන පුද්ගයින්ගේ සැගවුනු කලා කුසලතා එළි දැක්වීම වෙනුවෙන් ද වැඩ සටහන් ක්‍රියාත්මකයි. පුනරත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය යටතේ වව්නියාව, කන්දකාඩු හා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුනක් ස්ථාපිත කර තිබෙනවා. මේ වන විට ඒවායෙහි හයසීයකට වැඩි පිරිසක් පුනරුත්ථාපනය වෙනවා. පසුගිය වසර දහයක තුළ එනම් 2013 සිට 2023 දක්වා කාලය තුළ මත් ද්‍රව්‍ය සදහා යොමු වු පුද්ගලයින් අට දහසකට වඩා වැඩි පිරිසක් පුනරුත්ථාපනය කර තිබෙනවා. විශේෂයෙන් පුනරුත්ථාපනය සදහා යොමු කර නැවත සමාජගත වන පුද්ගලයින්ගේ සමාජ වටපිටාව පිළිබදව නිරන්තර අවධානයෙන් සිටිනවා. ඔවුන් පිළබදව සොයා බැලීම සදහා දිස්ත්‍රික්ක දහ තුනක කාර්යාල ස්ථාපිත කර තිබෙනවා.

2023 අංක 02 දරණ පුනරුත්ථාපන කාර්යාංශ පනත යටතේ පුනරුත්ථාපනයෙන් ඔබ්බට පුද්ගලයින් යොමු කිරීමට කටයුතු කර තිබෙනවා. නව පනත මෙම වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මකයි. ඒ අනුව මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිව සිටින පුද්ගලයින්ට ස්වේඡාවෙන් පැමිණ පුනරුත්ථාපනය විය හැකියි. මේ වන තෙක් මත් ද්‍රව්‍ය සදහා යොමු ව සිටින කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රමවේදයක් තිබුණේ නැහැ. නමුත් නව පනත යටතේ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සකසා තිබෙනවා. ඒ අනුව ඒ සදහා ද අවශ්‍ය පහසුකම් ඉදිරියේදී සපයනවා. ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා , රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න මැතිතුමා සහ අමාත්‍යාංශයේ ලේකම්තුමිය තම කාර්යාංශයේ කටයුතු සාර්ථකව සිදු කිරීම සදහා උපරිම සහයෝගය ලබා දෙන බව ද කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක, හර්ෂ බී.අබේකෝන්, බ්‍රිගේඩියර් දුලිත් පෙරේරා, කර්නල් අරුණ දේශප්‍රිය, මේජර් සතින්ද්‍ර සිරිවර්ධන යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT