Thursday, May 8, 2025
Home » අපෙන් දුරක යන ලාල් සරත් කුමාර

අපෙන් දුරක යන ලාල් සරත් කුමාර

by mahesh
August 4, 2023 12:58 am 0 comment

උදිත ගුණවර්ධන නිශ්ශංක විජේරත්න

ලාල් සරත් කුමාර දැයෙන් සමුගෙන ගොසිණි. හෙතෙම අසූව දශකයේ ජාතික ගුවන්විදුලියේ ඉහළ ජනප්‍රසාදයක් දිනාගත් ප්‍රවෘත්ති නිවේදකයකි. එදා ඔහු ප්‍රවෘත්ති ඉදිරිපත් කළ රටාව අතිශය ආකර්ෂණීය එකක් විය. ජාතික ගුවන්විදුලියෙන් සිරස ගුවන්විදුලියට එක්වූ ඔහු එහි මුල් කාලීන ප්‍රවෘත්ති ප්‍රකාශකයකු ලෙස කටයුතු කළ අතර පසුව සිරස ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයෙකු, ඉදිරිපත් කරන්නෙකු හා විශේෂයෙන් හඬකැවීම් ශිල්පියෙකු ලෙස ප්‍රකට වූ අතර හඬ නළුවකු ලෙස ද හඬ නළු ගුරුවරයකු ලෙස ද ඔහු විශාල සේවයක් ඉටු කළේය. හඬ නළුවකු ලෙස සූරපප්පා , සුජාත දියණි, අධිරජ ධර්මාශෝක, ඇතුළු ජනප්‍රිය නිර්මාණ රැසකට කටහඬින් පණ දුන් ඔහු දශක තුනකට වැඩි කාලය තුළ මුල් පෙළේ ජනප්‍රිය නිර්මාණ සියයකට වැඩි ප්‍රමාණයකට දායකත්වය දී තිබේ. ජනප්‍රිය හඬ නළු සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලාල් සරත්කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසාන කටයුතු අද ( 4 ) සවස 3.30 ට හැඳල ගල්කන්ද පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතය.

——————————————————————————————————————————-

ක්‍රිශාන්ගෙන් ආදර්ශයක්

වීදි ගායනයෙන් ඉපයූ මුදලින් නිට්ටඹුවේ පදිංචි ක්‍රිශාන් මංජුල මහතා වතුපිටිවල මූලික රෝහලට රුධිර පීඩනය මනින උපකරණ කට්ටල 200ක් පරිත්‍යාග කළ අවස්ථාව.

——————————————————————————————————————————-

කැෂුවල් වුණු ස්පයිඩර් මෑන්

ටොම් හෝලන්ඩ් කියන්නේ ලොකු කුඩා කවුරුත් හඳුනන හොලිවුඩය හොල්ලපු නළුවෙක්. ස්පයිඩර් මෑන් චිත්‍රපටයේ, ස්පයිඩර් මෑන් චරිතයෙන් ලෝකයේම ජනප්‍රියත්වයට පත් වූ ඔහු සාමාන්‍ය ඇඳුමකින් සැරසීගෙන, ඔහුගේ පෙම්වතියත් සමඟ ඇමරිකානු පොප් ගායිකා බියොන්සේ නොවැල්ස්ගේ සංගීත ප්‍රසංගයක් නරඹන්න ගිහින්. ප්‍රසංගය නරඹන්න ‘කැෂුවල්’ ගියත් එහි පැමිණි බොහෝ දෙනෙක් ස්පයිඩර් මෑන්ව හඳුනාගෙන තිබෙනවා.

——————————————————————————————————————————–

අරගලයේ වෙඩි මුරය අද රුසියානු මන්දිරයේදී

කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධිත රුසියානු සාහිත්‍ය කවය සංවිධානය කරන සිනමා විචාරක තිස්ස ප්‍රේමසිරි රචිත සර්ජි අයින්ස්ටයින්ගේ ‘අරගලයේ වෙඩිමුරය’ නොහොත් බැට්ල්ෂිප් පොටෙමික්ස් සිනමා කෘතියේ තිර රචනය එළිදැක්වීම අද ( 4) සවස 2.30ට කොළඹ රුසියානු මන්දිරයේදී.

——————————————————————————————————————————-

දුර ගමනක් යන ගීත්මාටBපාරෙ බැහැලා යන්නත් බැරි වෙලා

සංගීතේ ටෙලියෙන් කලඑළි දුටු ගීත්මා බණ්ඩාරට මේ දිනවල එහි එන අසේනි චරිතය නිසා පාරේ බැහැලා යන්න බැරි තරම් ප්‍රතිචාර වැහි වැහැලා. දුර ගමනක් යන්න බලාගෙන ගීත්මා බණ්ඩාර බ්‍රෑන්ඩ් එකක් විදියට තියා ගන්න තැනට වැඩ කරන බව කියන මේ නැඟී එන යොවුන් නිළිය කියන්නේ බොහෝ දේවල් ඉගෙන ගන්නා ගමන් රංගන ක්ෂේත්‍රයේ ඉහළට යෑම අරමුණ බවයි. ඒත් ලංකාව වගේ රටක වෘත්තීය මට්ටමේ නිළියක් විදියට පැවතීම දුෂ්කර බවත් ඇය කියනවා.

——————————————————————————————————————————–

ඩිංගා ළඟදීම 

ඩිලංක රංගනාත් අධ්‍යක්ෂණය කළ ‘ඩිංගා’ (Dinga) ළඟදීම තිරගත කිරීමට නියමිත චිත්‍රපටයකි. තුසිත ලක්නාත්, තිලක්ෂණී රත්නායක, තුමිඳු දොඩන්තැන්න, අංජන ප්‍රේමරත්න, දිලුම් බුද්ධික, මලිත් එස්. උයන්ගොඩ, උදාර අබේසුන්දර, විහඟ විජේසේකර, ජෙහාන් ද සිල්වා ආදීහු මෙහි රඟති.

කැමරාවෙන් ස්ට්‍රයිනර් මැක්ලෙයින් ඇඩම්ස් ද වේශ නිරූපණයෙන් ශාලිත ගුණවර්ධන ද සංස්කරණයෙන් දමිත සාගර චන්ද්‍රසිරි ද සංගීත අධ්‍යක්ෂණයෙන් විහඟ විජේසේකර ද ඇඳුම් නිර්මාණයෙන් පූර්ණිකා මුහන්දිරම් ද නිෂ්පාදන සැලසුම්කරණයෙන් නුවන් සනුකරත්න ද හඬකැවීම් හා ශබ්ද සැලසුම්කරණයෙන් අතුල ජයසිංහ ද වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර ද ගැයුමෙන් නදීක ජයවර්ධන ආදීහු එක්වෙති.

——————————————————————————————————————————–

‘THE JUNGLE’ අද

චමිල ප්‍රියංක අධ්‍යක්ෂණය කළ THE JUNGLE නාට්‍ය අද සහ හෙට සවස 3.30ට සහ 6.30ට ටවර් රඟහලේදී

——————————————————————————————————————————–

ජාතික රූපවාහිනිය ලොවම දිනයි

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට දශක හතරකට වැඩි කාලයක් තිස්සේ ගුණාත්මක වැඩසටහන් ඉදිරිපත් කිරීම වෙනුවෙන් දෙස්, විදෙස් විවිධ ඇගැයීම්, සම්මාන ලැබී ඇති අතර ඉකුත්දා එය ආසියා ශාන්තිකර කලාපීය රටවල් 67කට අයත් විද්‍යුත් නාළිකා සිය ගණනක් තරග කළ, සිංගප්පූරුවේදී පැවැති ආසියා ශාන්තිකර විකාශන සම්මාන උලෙළේදී අන්තර්ජාතික ඉංජිනේරු විශිෂ්ටතා සම්මානය දිනා ගන්නා ලදි. වසර 41ක ජාතික රූපවාහිනී ඉතිහාසයේ මුල් වතාවට මෙවැනි ඉංජිනේරු විශිෂ්ටතා සම්මානයක් රූපවාහිනී සංස්ථාව දිනා ගත් බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු කපිල දසනායක මහතා දිනමිණට පැවසීය.

——————————————————————————————————————————-

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ අරඹයි

ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන සූරිය සුළඟ චිත්‍රපටයේ මුහුරත් උලෙළ ඉකුත්දා කොළඹදී පැවැත්විණ. එහි රූගත කිරීම් කොළඹ, ගාල්ල, නුවර ආදී ප්‍රදේශවලදී සිදු කෙරේ. සජිනි රෝයි, නිහාරි පෙරේරා, අශාන් ඩයස්, සනත් ගුණතිලක, සේමිණි ඉද්දමල්ගොඩ, බිමල් ජයකොඩි, අතුල ජයකොඩි, මුතු තරංගා ආදීහු මෙහි රඟති.

—————————————————————————————————————————-

‘කදිර දිව්‍යරාජ දැන් පෙන්වනවා

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ, ආචාර්ය, රවී ලියනගේ නිෂ්පාදනය කළ ‘කදිර දිව්‍යරාජ’ ඊයේ ( 3) සිට දිවයිනපුරා තිරගත කෙරේ. මෙහි ප්‍රධාන නළු නිළියන් ලෙස භාරතීය රංගන ශිල්පී සමර් විර්මානී(කදිර දෙවියන්), භාරතීය රංගන ශිල්පිනී සොනාක්ෂි රාවන් (වල්ලි මාතාව) සමඟ රොෂාන් පිලිපිටිය, නිල්මිණි තෙන්නකෝන්, ජගත් චමිල, චරිත් අබේසිංහ, වසන්ත විට්ටච්චි, දීපා රණසිංහ, සරත් කොතලාවල, ධනංජය සිරිවර්ධන, විනූ උදානි සිරිවර්ධන, හරිනි උත්පලා, අජිත් ශාන්ත, සමුදි ජයසිංහ, වසන්ත කුමාරවිල, ෂෙල්ටන් කැකුලාවල, රජිත රොද්‍රිගු, රංගී රාජපක්ෂ, සම්පත් තෙන්නකෝන් ආදීහු රංගනයෙන් දායක වෙති.

——————————————————————————————————————————

රාම් පිය පදවියට

දකුණු ඉන්දීය රංගන ශිල්පී රාම් චරන් පසුගියදා පිය පදවිය ලැබුවා. විවාහ වෙලා වසර ගණනාවක් ගෙවිලා ගියාට පස්සේ රාම් සහ ඔහුගේ ආදරණීය බිරිඳ උපාසනාගේ කැදැල්ලට එකතු වුණු මේ ආදරණීය අමුත්තියට නම තියලා තියෙන්නෙත් රාම්. ඒ පුංචි ආදරණීය සිඟිත්තියගේ නම තමයි, කාරා කොන්දේලා

——————————————————————————————————————————–

පසිඳු රැටියල කර්තෘ භාග අවුල ලිහන්නට ‘ceymusic’ පෙරට එයි

මෙරට ගීත නිර්මාණ වෙනුවෙන් ගෙවිය යුතු කර්තෘ භාග වෙනුවෙන් බොහෝ විට ගෙවීම් නොකරන සහ අතපසු කරන වාතාවරණයක් යටතේ ගීත රචකයන්ගෙන් සහ සංගීතඥයන්ගෙන් සැදුම්ලත් ceymusic ආයතනයේ මැදිහත් වීමෙන් එම නිර්මාණකරුවන්ට සාධාරණයක් ඉටුකර දීමට කටයුතු කර ඇතැයි ඉකුත්දා බොරලැස්ගමුව ප්‍රදේශයේදී පැවැති එහි සාමාජික සාමාජිකාවන්ගේ හමුවකදී එහි සාමාජික රනුර පෙරේරා පැවසීය. එසේම, ඇතැමුන් කල් ඉකුත්වූ ගිවිසුම් හුවා දක්වමින් ගීත නිර්මාණවලට හිමිකම් කියමින් ඊට අදාළව නව ගිවිසුම්වලට එළැඹෙමින් විශාල වශයෙන් මුදල් ගසා කෑමක නිරත බවත් එහිදී ප්‍රකාශ කෙරිණ. මේ අවස්ථාවට ceymusicහි සාමාජික සාමාජිකාවන් වන සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, කුලරත්න ආරියවංශ, සමන් අතාවුදහෙට්ටි, රෝහණ වීරසිංහ, රන්ජන අමරදේව, සුනිල් ආර් ගමගේ, ෂර්ලි වෛජයන්ත, දයා ද අල්විස්, ධම්මිකා වල්පොල ඇතුළු කලාකරුවන් රැසක් එක්ව සිටියහ.

———————————————————————————————————————————

මනෝමේඝ අද

සරත්චන්ද්‍ර මුතුබණ්ඩාගේ මනෝමේඝ නාට්‍ය අද ( 4) සවස 3.30ට සහ 6.45ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී රඟ දැක්වේ.

——————————————————————————————————————————–

නාට්ටාමි ආමි 6දා ගුණසිංහපුරට

නාට්ටාමි ආමි සිනමාපටය අධ්‍යක්ෂ දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ නාට්ටාමි ආමි චිත්‍රපටයේ විශේෂ දැක්මක් සහ නොමිලේ ඇස් කණ්ණාඩි බෙදා දීමක් 6 වැනිදා දවස පුරා කොළඹ ගුණසිංහපුරද

———————————————————————————————————————————

හේමමාලී අත්හැරීමක

හේමමාලී හපුආරච්චිගේ ගී පද රචනා ගැයෙන ‘අත්හැරීමක’ ප්‍රසංගය සහ එම කෘතිය 12දා සවස 2.30ට කොළඹ විශ්ව විද්‍යාලයීය නව කලාගාරයේදී. මහාචාර්ය ටියුඩර් වීරසිංහ සහ දර්ශන රුවන් දිසානායක දෙසුමින් ද ගැයුමෙන් දර්ශන රුවන් දිසානායක, තුසිත් නිම්සිත්, මිස්සක සූරියආරච්චි, කණිෂ්ක කල්පන, ලක්ෂණා ලක්මිණි, මිදොරි කරුණාරත්න, සියුමිණි ඔපයංගි, නිපුණි හේරත්, රෙබෙකා ෂාලොම්, දුල්මා ශංඛදිමා ආදීහු එක්වෙති. එදින කථනය සමන් අතාවුදහෙට්ටිගෙනි.

———————————————————————————————————————————

කථක් ප්‍රසංගය 10දා මරදානේදී

මනීෂ් ශර්මාගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වැඩ වෙන ‘ටයිගර් 3’ බොලිවුඩ් සිනමා සිත්තම මේ වසරේ නොවැම්බර් 10 වැනි දා රිදී තිරයට එක් කෙරෙන බවට ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ වන විට ටයිගර් 3 හි හඬ කැවීම් කෙ‍ෙරන අතර මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ සල්මන් ඛාන් විසින්. කත්‍රිනා කයිෆ් මෙහි ප්‍රධාන නිළිය ලෙස දායකත්වය දක්වනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT