අමෙරිකාවේ කැන්සාස් හි පුද්ගලයකු සිය 50 වැනි විවාහ සංවත්සරය නිමිත්තෙන් බිරියට සූරියකාන්ත මල් වත්තක් තෑගි කිරීමට සූදානම් වීමේ අපූරු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලී විල්සන් නමැති මේ පුද්ගලයා සිය විවාහයේ රන් ජුබිලය සැමරීමට මාස ගණනාවක සිට සූදානම් ඇති අතර, බිරිය රෙනී පුදුමයට පත් කිරීමට පසුගිය මැයි මාසයේදි ඔවුන්ගේ පුත්‍රයා සමඟ එක්ව රහසිගතව ඔවුන් සතු අක්කර 80ක විශාල ඉඩමක සූරියකාන්ත පැල සිටුවා ඇතැයි ද, මේ වන විට එහි ලක්ෂ 12කට අධික සූරියකාන්ත මල් පිපී ඇතැයි ද වාර්තා වේ.
‘ඇය සූරියකාන්ත මල්වලට ගොඩක් ආසයි. ඒ වගේම මම හිතුවා මේ කන්නය සූරියකාන්ත වගාවක් කරලා ඇයට තෑගි කරන්න ඕනා කියලා.‘ විල්සන් එසේ ප්‍රකාශ කර තිබේ. එහෙත් පසුගියදා මේ පුවත මාධ්‍ය වෙත වාර්තා වීමෙන් පසු එය තවදුරටත් බිරියට රහසක් නොවූ බවත් ඔහු සඳහන් කර ඇත. ඔවුන්ගේ 50 වැනි විවාහ සංවත්සරය ලබන 10 වැනිදාට යෙදී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.