Home » හරක් කටාගෙන් ප්‍රශ්න කිරීමෙන් තව ගිනි අවි 2ක් සොයාගනී

හරක් කටාගෙන් ප්‍රශ්න කිරීමෙන් තව ගිනි අවි 2ක් සොයාගනී

by mahesh
August 4, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

මැඩගස්කරයේ සිට මෙරටට රැගෙනවිත් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගයක් මත රඳවාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ තොරතුරු මත මුල්ලේරියාව ගල්වාන හන්දිය අසල ඇති හිස් ඉඩමේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ නිලධාරීන් පෙරේදා (2) ගිනි අවි දෙකක් සොයාගැනීමට සමත්ව ඇත.

අනුක්‍රමික අංකය මකා දමා ඇති ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ මිලි මීටර් 09 වර්ගයේ පිස්තෝලයක් මෙසේ සොයාගෙන තිබේ.

මේ අවි එම ඉඩමේ ඇති බව මහජන පැමිණිලි අංශයේ නිලධාරීන්ට හරක් කටා හෙළි කර ඇති බවත්, ඒ අනුව ගොස් කළ පරීක්ෂාවේදී මේ අවි සොයාගෙන ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

හරක්කටා සහ කුඩු සලිඳු නමැති මත්කුඩු ජාවාරමේ නිරත පාතාල අපරාධකරුවන් දෙදෙනා මෙරටට රැගෙන එනු ලබන්නේ පසුගිය මාර්තු 15 දාය. කටුනායක ගුවන්තොටුපොළට රැගෙන ආ ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය.

එහිදී හරක්කටාගේ තොරතුරු මත මුල්ම ගිනි අවිය සොයාගනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසිනි. ඒ හරක්කටාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවය. මැයි 8 දා උඩුගම කපලවල හන්දියේ බස් නැවතුම්පොළ ආසන්නයේ ඇති ගසක් පාමුල වළදමා තිබී සොයාගනු ලබන්නේ රිවෝල්වරයකි.

ඊට පෙර කුඩු සලිඳුගෙන් ප්‍රශ්න කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය විසින් මි.මී. 9 ගිනි අවි දෙකක් සමඟ සලිඳුගේ ගෝලයකු අත්අඩංගුවට ගනු ලබන්නේ අප්‍රේල් 24 දාය. ඒ පාණදුර කේතුමතී හෝටලයේ ගිලන් රථ රියැදුරුට වෙඩි තැබීම සම්බන්ධයෙනි. අනතුරුව ගල්කිස්ස අධිකරණයේ සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ වෙඩිකරු අත්අඩංගුවට ගනු ලබන්නේද හරක්කටා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් තොරතුරුවලට අනුවය. හරක්කටා හා කුඩු සලිඳුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වන තොරතුරු මත අවස්ථා කීපයකදීම විටෙන් විට ගිනි අවි රැසක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇත. ඒ අතර ටී56 අවි, රිවෝල්වර සහ පිස්තෝල ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. මෙසේ මේ වන විට විටින් විට සොයාගත් අවි ප්‍රමාණය 10ක් පමණ වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT