ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරළ මහතාට අයත් පුද්ගලික පිස්තෝලය පත්තුවීමෙන් මන්ත්‍රීවරයාගේ කන්තලේ පිහිටි නිෙවසේ ආරක්ෂාවට යොදවා සිටි සිවිල් ආරක්ෂක බළකා සෙබළකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ පෙරේදා (02) පෙරවරුවේදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට ඇමති ආරක්ෂක අංශයෙන් ලබාදී සිටින පොලිස් සැරයන්වරයා අතින් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
එම සැරයන්වරයා මන්ත්‍රීවරයාට අයත් NP 22 වර්ගයේ අංක A12001568 දරන බලපත්‍ර සහිත පිස්තෝලය පිරිසිදු කරමින් සිටියදී එය ක්‍රියාත්මක වී ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.
කන්තලේ පොලිස් ස්ථානය මඟින් මන්ත්‍රීවරයාගේ නිවසේ ආරක්ෂාවට පොලිස් හා සිවිල් ආරක්ෂක නිලධාරීන් යොදවනු ලබයි. මෙම වෙඩි වැදීම සිදුවන විට පොලිස් සැරයන්වරයකු, ආරක්ෂක සහායකයෙකු සහ සිවිල් ආරක්ෂක බළකා සෙබළු දෙදෙනකු මන්ත්‍රීවරයාගේ නිෙවසේ ආරක්ෂාවට යොදවා සිට ඇත. වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් දෙදෙනාගෙන් අයෙකි.
සිවිල් ආරක්ෂක බළකා සෙබළාගේ වම් අතේ මැණික් කටුව ප්‍රදේශයට හා දකුණු අතේ උරහිසට පහළින් මස්ගොබය ප්‍රදේශයට වෙඩි වැදී ඇති බව පොලිසිය කියයි. මෙම වෙඩි වැදීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව පොලිසිය කියයි.