ශ්‍රී ලංකාව අසීරුවට පත්ව ඇති මෙම අවස්ථාවේදී රටට සහයෝගය ලබාදෙන ලෙස නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉල්ලීමක් කර ඇත.
රට මුහුණදී සිටින ආර්ථික අර්බුදය පිටුදැකීම සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ලබාදෙන සහයෝගය අගය කරන බව ද ප්‍රකාශ කර ඇත.
නවසීලන්තයේ අධ්‍යයන සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර හමුවක් පසුගියදා (28) ඕක්ලන්ඩ්හිදී පැවැත්වූ අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රීනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, මවුබිම මේ මොහොතේ මුහුණ දී තිබෙන අසීරු තත්ත්වයෙන් මිදීම සඳහා සහයෝගය ලබා දෙන ලෙසයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන්ගේ සංසදය ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් දැක්වූ සභාපතිනිය සඳහන් කළේ සිය සංසදය විවිධ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරියන්ගෙන් සමන්විත වුවද පොදු අරමුණු වෙනුවෙන් එක්ව පෙනී සිටින බවයි.
නවසීලන්ත පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වනුෂි වෝල්ටර්ස් මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටි අතර, මෙම චාරිකාව සඳහා නවසීලන්තය තෝරා ගැනීම පිළිබඳව ඇය සිය සතුට පළ කළාය. විශේෂයෙන්ම කාන්තා දේශපාලන නියෝජනය සඳහා වඩාත් හිතකර ව්‍යුහයන් සහ අවකාශයන් සහිත පාර්ලිමේන්තු ක්‍රමයක් නවසීලන්තය තුළ පැවතීම සහ එරට කාන්තා දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳ මනා අවබෝධයක් ලැබීම මඟින් ශ්‍රී ලංකාව තුළ එම යහ භාවිතයන් ස්ථාපිත කිරීමට මෙරට මන්ත්‍රීවරියන්ට හැකිවනු ඇති බවද වෝල්ටර්ස් මහත්මිය සඳහන් කළාය.
නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින් අදහස් පළ කළ ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉල්ලා සිටියේ මේ අවස්ථාවේ ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහාය මව්රටට අවශ්‍ය බැවින් ඒ සඳහා කිසියම් හෝ දායකත්වයක් සපයන ලෙසයි. මන්ත්‍රීවරියන්ගේ සංසදයේ උප සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි විජේරත්න මහත්මිය අදහස් දක්වමින් පැවසුවේ වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනයන් කිරීමට දායක වන ලෙසයි.
සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, සීතා අරඹේපොළ, රෝහිණි කුමාරි විජේරත්න, නීතිඥ පවිත්‍රාදේවි වන්නිආරච්චි, ගීතා සමන්මලී කුමාරසිංහ, නීතිඥ තලතා අතුකෝරල, කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්‍රිශාන්ති, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, ආචාර්ය හරිනි අමරසූරිය මෙන්ම පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) ඉන්දිරා දිසානායක සහ පාර්ලිමේන්තුවේ මාධ්‍ය කළමනාකාරිනි නිම්මි හාතියල්දෙනිය යන මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.