රුපියල් 35 බැගින් බිත්තර සැපයිය හැකි බව සඳහන් කරමින් ව්‍යාපාරිකයන් රවටා මුදල් වංචා කරමින් සිටි මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයකු ව්‍යාපාරිකයකු විසින් අල්ලා නාරාහේන්පිට පොලිසියට පෙරේදා (2) භාර දී ඇත.
ප්‍රියන්ත ද සිල්වා නමැති මේ සැරයන්වරයා මෙම වංචාවේ නිරතව සිට ඇත්තේ කොම්පඤ්ඤවීදිය පොලිසියේ සේවයේ නිරත (උ.පො.ප) අජිත් නමින් බවද මොහුගේ වංචාවට හසු වූ ව්‍යාපාරිකයන් නාරාහේන්පිට පොලිසියට පවසා තිබේ.
මුල්ලේරියාව රණබිම මාවතේ පදිංචි පුද්ගලයකු කොම්පඤ්ඤවීදිය ස්ටුවට් වීදියේ සිල්ලර වෙළෙඳසලක් පවත්වාගෙන යන බවත්, ඔහුටද රු. 35 බැගින් බිත්තර පෙට්ටි 10ක් දීමට පොරොන්දු වී රු. 50,000ක් වංචා කර ඇති බවත් නාරාහේන්පිට පොලිසිය කියයි.
මේ ව්‍යාපාරිකයා වංචාවට හසු වී ඇත්තේ පසුගිය මාර්තු 6 දාය. දුරකතන ඇමතුමක් ව්‍යාපාරිකයාට දෙමින් ඔහු එම බිත්තර පෙට්ටි 10 දිය හැකි බව පවසා ඇති බවද පොලිසිය සඳහන් කළේය. එහිදී ඔහු පෙනී සිට ඇත්තේ කොම්පඤ්ඤවීදිය පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙසිනි. පොලිස් නිලධාරියකු එම ඇමතුම දුන් බැවින් ව්‍යාපාරිකයාද සැකයකින් තොරව බිත්තර පෙට්ටි 10 මිල දී ගැනීමට එකඟතාවට පළ කර ඇති බව සඳහන්ය.
උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස දුරකතන ඇමතුම දුන් සැරයන්වරයා එහිදී පවසා ඇත්තේ බිත්තර පෙට්ටි 10 ලබාගැනීමට නාරාහේන්පිට පිහිටි ඉන්ධන පිරවුම්හල අසලට පැමිණෙන ලෙසයි. ඒ අනුව මෙම ව්‍යාපාරිකයා සිය ව්‍යාපාරික ස්ථානයේ සේවකයන් දෙදෙනකුද කැටුව අදාළ ස්ථානයට ගොස් තිබේ. උප පොලිස් පරීක්ෂක අජිත් ලෙස පෙනී සිටි සැරයන්වරයා එහිදී ව්‍යාපාරිකයා මුණගැසෙමින් බිත්තර තොගය දීමට රුපියල් 50,000ක මුදලක් ගෙන එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත්තේ බිත්තර රැගෙන එන තුරු මොහොතක් රැඳී සිටින ලෙස රැවටීමකට ලක් කරමිනි.
මෙසේ ව්‍යාපාරිකයන් රවටමින් මුදල් වංචා කරමින් සිටි මේ පොලිස් සැරයන්වරයා හසු වන්නේ කොම්පඤ්ඤවීදියේ ව්‍යාපාරිකයාගේ මිතුරකුටද එවන් දුරකතන ඇමතුමක් දී බිත්තර ඇතැයි පැවසීම හේතුවෙනි. ඔහුට පවසා ඇත්තේ රු.32 බැගින් බිත්තර පෙට්ටි 10ක් ඇති බවයි. ඒ අනුව මුල් ව්‍යාපාරිකයාත් මේ ව්‍යාපාරිකයාත් එක්ව නාරාහේන්පිට සුපිරි වෙළෙඳ සංකීර්ණයක් අසලට පෙරේදා (2) ගොස් ඇත්තේ පොලිස් නිලධාරියාගෙන් ලද දුරකතන ඇමතුමකට අනුවය. එහිදී අදාළ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියා රු. 50,000ක් ඉල්ලා සිටින විට මුලින් රැවටීමට ලක් වූ ව්‍යාපාරිකයා මොහු හඳුනාගෙන, ඔහුට පලා යෑමට ඉඩ නොදී අල්ලාගෙන නාරාහේන්පිට පොලිස් ස්ථානයට රැගෙන විත් තිබේ. එහිදී නාරාහේන්පිට පොලිසිය මේ වංචාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් සටහන් කරගෙන මොහු අත්අඩංගුවට ගෙන තිබේ. මේ නිලධාරියා උප පොලිස් පරීක්ෂකවරයකු නොව, පොලිස් සැරයන්වරයකු බව අනාවරණය වී ඇත්තේ නාරාහේන්පිට පොලිසියේදී කළ ප්‍රශ්න කිරීමේදීය. මේ නිලධාරියාගේ වැඩ තහනම් කිරීමටද පොලිස් බලධාරීන් ඊයේ වන විට පියවර ගෙන තිබිණි.