Home » නඩු ලේඛන සපා කෑ නීතිඥවරියට ඇප නෑ

නඩු ලේඛන සපා කෑ නීතිඥවරියට ඇප නෑ

9 දක්වා යළි රිමාන්ඩ්

by mahesh
August 4, 2023 1:00 am 0 comment

අනුරාධපුර - උපාලි ආනන්ද කරුණාදාස

කැකිරාව දිසා අධිකරණයේ ලේඛනාගාරයේ, ඉඩම් නඩුවකට අදාළව තිබූ නඩුවක ලිපි ගොනුවකට අමුණා තිබූ රජයේ රස පරීක්ෂකවරයා විසින් සහතික කරන ලද වැදගත් ලේඛන දෙකක් බලහත්කාරයෙන් ගෙන පැහැර ගැනීමට තැත් කර, ඒ උත්සාහය ව්‍යර්ථ වූ අවස්ථාවේ අදාළ ලේඛන 2 සපා කා විනාශ කළ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් කර සිටින සැකකාර නීතිඥවරිය ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස නීතිඥ ටිරෝන් විජේරත්න මහතා කළ ඉල්ලීමක් කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සෙනරත් බණ්ඩාර මහතා යළි ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව සැකකාරිය තව දුරටත් මේ මස 9 දා දක්වා රිමාන්ඩ් කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් ජූලි 31 දා ගත් ඇගේ රුධිර සාම්පල ඩීඑන්ඒ පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂක වෙත යැවීමට පියවර ගන්නා ලෙස කැකිරාව පොලිසියටද නියෝග කළේය.

මෙසේ යළි රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ රෝෂණී අබේරත්න නමැති කැකිරාව සෙක්කුපිටියේ පදිංචිකාරියකි.

නඩුව කැඳවූ අවස්ථාවේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසියේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) සුමිත් මුණසිංහ සහ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති (උ.පො.ප) දේශප්‍රිය නවරත්න මහත්වරුන් කියා සිටියේ සැකකාරියට එරෙහිව පොදු දේපළ පනත යටතේ අද අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කරන බවයි.

සැකකාරිය මේ ලේඛන පැහැරගැනීමට තැත් කළ අවස්ථාවේ අධිකරණ නිලධාරීන් එය නොදුටුවේ නම්, ඇය අදාළ ලේඛන ඉතා සූක්ෂ්මව පැහැරගැනීමට ඉඩ තිබූ බවද අවධාරණය කළ පොලිස් නිලධාරීන් එසේ වූයේ නම් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ, අධිකරණ නිලධාරීන් කිහිප දෙනකුගේ රැකියා පවා අහිමි වීමේ අවදානමක් තිබූ බවද පවසනු ලැබිණි.

සැකකාරියට ඇප දීම සම්බන්ධයෙන් පොලිසිය දැඩි විරෝධය පළ කරන බව මෙහිදී අධිකරණයට අවධාරණය කළ පොලිස් නිලධාරීහු, පොදු දේපළ පනත යටතේ සැකකාරියට එරෙහිව කරුණු වාර්තා කර ඇති බැවින් ඇයට ඇප දීමේ කිසිදු හැකියාවක් නොපවතින බවද සඳහන් කළහ. සැකකාරිය කර ඇති වරද සහ එහි බරපතළකම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අධිකරණයට කරුණු දැක්වූ (ප්‍ර.පො.ප) සුමිත් මුණසිංහ සහ (උ.පො.ප) දේශප්‍රිය නවරත්න මහත්වරු සැකකාරියට ඇප දීමට තරම් කිසිදු සුවිශේෂ කරුණක් පෙනෙන්න නැති බවද කීහ.

සැකකාරිය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ ටිරෝන් විජේරත්න මහතා පැවසුවේ සැකකාරිය පිළිකා රෝගයෙන් පෙළෙන බැවින් එකී රෝගි තත්ත්වය සඳහා මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි. ඒ අනුව ඇගේ රෝගි තත්ත්වය සුවිශේෂ කරුණක් සේ සලකා සැකකාරිය ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස නීතිඥවරයා අධිකරණයෙන් අයැද සිටියේය.

දෙපාර්ශ්වයේම කරුණු සැලකිල්ලට ගත් විනිසුරු සෙනරත් බණ්ඩාර මහතා ඇප ඉල්ලීම ඉවත දමමින් සැකකාරිය තවදුරටත් මේ මස 9 දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කළේය.

කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් ශ්‍රියන්තා චන්දන මාලි සමරකෝන් මහත්මිය කැකිරාව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන මෙහෙයවා, සැකකාර නීතිඥවරිය මීට පෙර අත්අඩංගුවට ගනු ලැබුවාය. උතුරු මැද ජ්‍යෙ.නි.පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද, නි.පොලිස්පති ලක්සිරි විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙ.පො. අධිකාරි ජේ. පුෂ්පකුමාර ස.පො. අධිකාරි ධර්මදාස මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ කැකිරාව පොලිසියේ ස්ථානාධිපති (ප්‍ර. පො.ප) සුමිත් මුණසිංහ සහ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති (උ.පො.ප) දේශප්‍රිය නවරත්න යන මහත්වරුන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර, සැකකාර නීතිඥවරිය වෙනුවෙන් නීතිඥ ටිරෝන් විජේරත්න මහතා පෙනී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT