Saturday, May 10, 2025
Home » පොලොන්නරුව සුදු අරලිය හෝටලයේ කළමනාකරුට රු. 75,000ක් දඩ
තෙප්පන් ඇළට අපද්‍රව්‍ය මුදාහැරීම

පොලොන්නරුව සුදු අරලිය හෝටලයේ කළමනාකරුට රු. 75,000ක් දඩ

by mahesh
August 4, 2023 1:00 am 0 comment

මනම්පිටිය - නිමල් ජයරත්න

පොලොන්නරුව අභයභූමියට අයත් පරාක්‍රම සමුද්‍රයේ, තෝපාවැව ආසන්නයේ තෙප්පන් ඇළට අපද්‍රව්‍ය මුදාහැරීමේ වරදට පොලොන්නරුව සුදු අරලිය හෝටලයේ කළමනාකරුට රු. 75,000ක දඩයක් නියම කර තිබේ.

මේ හෝටලයේ නාන තටාකයේ අපවිත්‍ර ජලය හා විසිතුරු මාළු ටැංකියේ කළු පැහැති අපවිත්‍ර ජලය, භූගත නළයක් මඟින් බැහැර කිරීම ඇතුළු චෝදනා 5ක් යටතේ අත්අඩංගුවට ගනු ලැබූ හෝටලයේ කළමනාකරු පොලොන්නරුව වනජීවි දෙපාර්තමේන්තුව මඟින් 3 දා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. 75,000ක දඩයක් ගෙවන ලෙස පොලොන්නරුව මහේස්ත්‍රාත් යූ.ඒ.එච්.කේ. වික්‍රමරත්න මහතා නියෝග කළේය.

මේ දඩ මුදල ගෙවන ලෙසෙ නියම වූයේ 2023 මැයි 31දා වන විට සුදු අරලිය හෝටලයේ කළමනාකරු ලෙස සේවයේ නියතු ගාල්ල, ඉඳුරුව, බෙන්තොට, අංක 467/ ඒ ලිපිනයේ පදිංචි හේවායලාගේ චතුරංග දිනුෂ ගුණසේන යන අයට බව පොලොන්නරුව වනජීවි කාර්යාලය සඳහන් කරයි.

හෝටලයේ සේවකයන් විසින් දෛනිකව මෙය සිදු කර ඇති බවත්, ඔවුන් ඒ වරද පිළිගන්නා බවත්, යළි එම වැරදි සේවකයන්ගෙන් සිදු නොවන බවට කළමනාකරු අධිකරණයේදී පොරොන්දු වූ බවත් විජේකෝන් මහතා සඳහන් කළේය.

මේ වැව පොලොන්නරුව නගරයේ විශේෂ වැවක් වන අතර, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් වන අතර, පොලොන්නරුව ජනතාවට පානීය ජලය සපයන ජල සම්පාදන මණ්ඩලය මී. 500ක් ආසන්නව පිහිටා ඇති බවත්, පොලොන්නරු අභය භූමියේ මෙන්ම යාබද අංගම්මැඬිල්ල උද්‍යානයේ ජීවත් වන වන සතුන්ට මෙන්ම පානීය ජලය භාවිතයට ගන්නා මහජනතාවට මේ අපවිත්‍ර ජලය බලපාන බවත් පොලොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි. වන සත්ත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් මහතා විසින් සැකකරු පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT