Home » උදේ ගෙදරින් ගිය අම්මාට මොකද මේ වුණේ කියලා හිතාගන්නවත් බෑ
තුල්හිරියේ සිදු වූ රිය අනතුරින් කාන්තාවක මිය යෑම

උදේ ගෙදරින් ගිය අම්මාට මොකද මේ වුණේ කියලා හිතාගන්නවත් බෑ

පුතා සාක්ෂි දෙයි

by mahesh
August 4, 2023 12:50 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත්

“ගෙදර මැෂින් කිහිපයක් දාගෙන කුඩා ඇඳුම් මහලා අම්මා හම්බ කළ සල්ලිවලින් තමයි අම්මයි මමයි ජීවත් වුණේ. අම්මා හොයන මේ සල්ලිවලින් අසරණ අයට වියළි ආහාර පාර්සල් පවා දෙනවා. අම්මා නිතරම පන්සල් ගිහින් ආගමික වතාවත් කරනවා. එහෙම ජීවත් වුණු අම්මට මොකද මේ වුණේ කියලා හිතාගන්නවත් බෑ.” යැයි වරකාපොළ, තුල්හිරිය මාරක රිය අනතුරින් මියගිය කාන්තාවගේ එකම පිරිමි දරුවා වන 21 හැවිරිදි ජයමහ මුදලිගේ හසිත මලිත් ජයමාන්න තරුණයා ඊයේ (03) හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පැවැසීය.

මෙලෙස මිය ගොස් තිබුණේ දොම්පේ, ගුරුවල, අංක 84 ලිපිනයේ පදිංචිව සිටි හල්කෑ විදානලාගේ අසෝකා ප්‍රියදර්ශනී නැමැති 50 හැවිරිදි එක්දරු මවකි. මියගිය මේ තැනැත්තිය කුඩා දරුවන්ගේ ඇඳුම් මසා වෙළෙඳ සැල්වලට අලෙවි කරන අතර, පෙරේදා (02) අසල්වැසි හිතවතියක් සමඟ කුරුණෑගල වෙළෙඳ සැල් කිහිපයකට ඇඳුම් සාම්පල් රැගෙන අනුරාධපුරය බලා ගමන් කරමින් තිබුණු ගල්ගමුව ඩිපෝවට අයත් බස් රථයක ගමන් කරමින් සිටියදී වරකාපොළ, තුල්හිරිය ප්‍රදේශයේදී පෙරවරු 10.35ට පමණ බස් රථය ලොරි රථයක ගැටීමෙන් ඇය තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇයගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (03) වරකාපොළ හදිසි මරණ පරීක්ෂක විමලසිරි රාජපක්ෂ මහතා ඉදිරියේදී වරකාපොළ රෝහලේදී පැවැත්විණි. එහිදී වරකාපොළ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ. ජී. ඩබ්ලිව්. අබේරුවන් මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් ජයසිංහ (48589) සාක්ෂි මෙහෙයවීය.

එහිදී වැඩිදුරටත් සාක්ෂි දෙමින් මිය ගිය තැනැත්තියගේ පුතා මෙලෙස ද පැවැසීය.

“මේ මිය ගිහින් ඉන්නේ මගේ අම්මා. මම පොඩි කාලෙදිම මගේ තාත්තා අපි අතහැරදමා ගිහිල්ලා. පස්සේ අම්මා මාව ලොකු මහත් කරලා. මට වෙන කවුරුත් නෑ. මම රස්සාවක් කරන්නෙත් නෑ. මම අම්මා කරන වෙළෙඳ ව්‍යාපාරවලට උදව් කරනවා. අම්මා ගෙදර රෙදි මහන මැෂින් හත අටක් දාගෙන අහල පහළ පහළොස්දෙනකුට විතර රස්සා දෙමින් ළමා ඇඳුම් මැහුවා. පෙරේදා (02) උදේ අම්මා ඇඳුම් සාම්පල් අරගෙන ගෙවල් ළඟ නැන්දා කෙනෙක් එක්ක කුරුණෑගල වෙළෙඳ සැල්වලට යනවා කියලා ගෙදරින් පිටත්වෙලා ගියා. ඒ ගිහින් කුරුණෑගල ඉස්පිරිතාලෙ ඉන්න කෙ‍ෙනකුත් බලලා එන්න යනවා කියලා තමයි ගියේ. පස්සේ මට දහවල් 12.30ට විතර අම්මා එක්ක ගිය නැන්දාගේ පුතෙක් කතා කරලා කිවුවා, අම්මා ගිය බස් එක තුල්හිරියේදී අනතුරකට ලක් වෙලා අම්මා වරකාපොළ ඉස්පිරිතාලෙ ඉන්නවා කියලා. පස්සෙ මම ගෙවල් ළඟ ඉන්න මගේ යාළුවෙක් වන පසිඳු එක්ක අම්මා බලන්න වරකාපොළ ඉස්පිරිතාලෙට බයික් එකෙන් ආවා. ඉස්පිරිතාලෙට ආවාට පස්සේ තමයි දැන ගත්තේ අම්මා නැති වෙලා කියලා. මට අම්මාගේ මරණය ගැන සැකයක් නෑ. රිය අනතුරකින් මිය යන්න ඇතැයි විශ්වාස කරනවා.”

මියගිය තැනැත්තියගේ වැඩිමහල් සහෝදරයා වන 54 හැවිරිදි හල්කෑ විදානලාගේ සරත් කුමාර කිත්සිරි නැමැත්තා ද මෙහිදී සාක්ෂි දුන්නේය. වරකාපොළ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය බී. ඒ. ඩී. සී. බාලසූරිය මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලදි. මෙය රිය අනතුරක් හේතුවෙන් හිසට සිදුව තිබූ තුවාල නිසා සිදුවූ මරණයක් බවට වරකාපොළ හදිසි මරණ පරීක්ෂක විමලසිරි රාජපක්ෂ මහතා තීන්දු කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT