Home » එයාර් අරාබියා-අබුඩාබි ශ්‍රී ලංකාවට පියාඹයි

එයාර් අරාබියා-අබුඩාබි ශ්‍රී ලංකාවට පියාඹයි

by mahesh
August 4, 2023 12:55 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාව සමඟ පවත්නා ගුවන් සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් එයාර් අරාබියා – අබුඩාබි ගුවන් සමාගම කොළඹට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

එයාර් අරාබියා ගුවන් සමාගම යටතේ අඩු මිල ගුවන් සමාගමක් ලෙස ක්‍රියාත්මක වන එයාර් අරාබියා – අබුඩාබි ගුවන් සමාගමට එක්සත් අරාබි එමීර් හි අබුඩාබි සිට ශ්‍රී ලංකාවට නිශ්චිත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය (Foreign Air Operator Certificate – FAOC) නිකුත් කිරීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය කටයුතු කර ඇත.

මෙම බලපත්‍රය නිකුත් කිරීමේ දී ප්‍රධාන වශයෙන් දේශීය හා විදේශිය මගීන්ට ගුවන් සුරක්ෂිතතාවට හා ආරක්ෂාවට බාධාවක් නොවන අන්දමින් කාර්යක්ෂමව ගුවන් මෙහෙයුම් පවත්වාගෙන යාම වෙනුවෙන් එම සමාගම සතු සංවිධානාත්මක ව්‍යුහය හා වැඩපිළිවෙළ පිළිබඳ ද ඉහළ අවධානයක් යොමුකර ඇති අතර එහිදී එම ගුවන් සමාගම සතු භෞතික සම්පත්, සංවිධානාත්මක ව්‍යූහය, සුදුසුකම්ලත් අත්දැකීම් සහිත මෙන්ම නිසි පුහුණුව ලත් කාර්යමණ්ඩලය, මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය උපාංග සහ වෙනත් සේවාවන් සැපයීමේ තාක්ෂණික හා භෞතික හැකියාව වැනි කරුණු පිළිබඳ ද දීර්ඝ වශයෙන් තක්සේරුවකට ලක්කරන්නට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ගුවන්යනා භූමි මෙහෙයුම් අංශයේ සිවිල් ගුවන්සේවා පරික්ෂකවරුන් කටයුතු කර ඇත.

කොවිඩ් තත්ත්වය හමුවේ යම් පසුබෑමකට ලක්වූ ගුවන් ප්‍රවාහන කර්මාන්තය, යලි සක්‍රීය කිරීම වෙනුවෙන් විදේශීය ගුවන් සමාගම් යළි දිවයිනට ගෙන්වා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, වරාය නාවික සහ ගුවන්සේවා අමාත්‍යාංශයේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක වැඩපිළිවළෙහි එක් අදියරක් ලෙස එයාර් අරාබියා – අබුඩාබි ගුවන් සමාගම කොළඹට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වීම දැක්විය හැක.

සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි පී. ඒ. ජයකාන්ත මහතාගේ උපදේශකත්වය සහ මඟපෙන්වීම මත, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන් සුරක්ෂිතතා රෙගුලාසි) සමන් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ, ගුවන් මෙහෙයුම් අංශයේ මූලිකත්වය තුලින් මෙම සහතික කිරීමේ කටයුතු සිදුවිය. විදේශීය ගුවන් සමාගමකට ශ්‍රී ලංකාවට ගුවන් මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා නිකුත් කරනු ලබන සහතිකය සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි පී. ඒ. ජයකාන්ත මහතා විසින් එයාර් අරාබියා – අබුඩාබි ගුවන් සමාගමෙහි මෙරට නියෝජිත සහ වානිජ කළමනාකරු ශීබින් නසීම් මහතා වෙත ප්‍රදානය කර තිබේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන් සුරක්ෂිතතා රෙගුලාසි) සමන් ගුණවර්ධන, එයාර් අරාබියා – අබුඩාබි ගුවන් සමාගමේ මෙහෙයුම් ප්‍රධානී චතුර කොළඹගේ මහත්වරුන් ද එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT