Home » සියලු වෘත්තීය පුහුණු ආයතන හා සම්පත් ඒකරාශී කර පොදු වැඩපිළිවෙලක්

සියලු වෘත්තීය පුහුණු ආයතන හා සම්පත් ඒකරාශී කර පොදු වැඩපිළිවෙලක්

by chanaka
August 4, 2023 4:36 pm 0 comment

ජාතික හා ජාත්‍යන්තර ‍රැකියා වෙළදපොළ ඉලක්ක කරගනිමින් සියලු වෘත්තීය පුහුණු ආයතන හා සම්පත් ඒකරාශී කොට පොදු වැඩපිළිවෙලක් සකස් කිරීම කඩිනම් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ තෘතීක කාර්මික අධ්‍යාපන ආයතනවලට අදාළ අනුකමිටුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දෙයි.

ඉහළ වැටුප් සහිත ඇතැම් විදේශීය රැකියා සදහා විශාල ඉල්ලුමක් පවතින බැවින් ගුණාත්මක බවින් යුතු පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීම සදහා සියලු ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව අනුකමිටුව අවධාරණය කළේය.

2023 මැයි මස 16 වැනිදා පැවති පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී තෘතීක හා වෘත්තීය පුහුණු කොමිෂන් සභාව ඇතුළු වෘත්තීය පුහුණු ආයතනවලට ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සාකච්ඡා කිරීම සදහා පත්කරන ලද අනුකමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) එම අනුකමිටුව රැස්වූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබාදීම සිදුවිය.

අධ්‍යාපන අමාත්‍යාංශය, තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය, වෘත්තීය පුහුණු අධිකාරිය, ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ඇතුළු ආයතන නියෝජනය කරමින් නිලධාරීහු මෙම රැස්වීමට කැදවා තිබිණි.

ඇතැම් වෘත්තීය පුහුණු ආයතනවල කාර්ය සහ අරමුණු ඒකාකාරී වීම ගැටලුවක් බැවින් යම් පොදු වැඩපිළිවෙලක අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා විය. සාපෙළ සහ උසස් පෙළ විභාග අවසන් කළ සිසුන් සම්බන්ධ කරගනිමින් මේ සම්බන්ධයෙන් නව වැඩපිළිටවලක් ආරම්භ කර ඇති බවත් මෙහි නියමු ව්‍යාපෘතියක් සැප්තැම්බර් ක්‍රියාත්මක බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය. එසේම මෙවැනි ව්‍යාපෘති විවිධ රජයේ යටතේ වෙනස් නොවන ලෙස පොදු ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව කමිටුව විසින් අවධාරණය කරන ලදී.

වෘත්තීය පුහුණු ආයතනවල ඉගැන්වීම් සිදු කරන උපදේශකවරුන්ගේ වැටුප්තල පහළ තත්ත්වයක තිබීම ඇතුළු ගැටලු පිළිබදව මෙහිදී අවධානය යොමු විය. මේ අනුව සිසුන්ගෙන් අයකර ගනු ලබන සාධාරණ ගාස්තු සහ උපදේශකවරුන්ගේ කාර්යසාධනය පදනම් කරගනිමින් මේ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් මාසයක් තුළ වාර්තා කරන ලෙසත් අනුකමිටුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

මෙම ආයතන සියල්ල සම්බන්ධ කරගනිමින් ජාතික තොරතුරු පද්ධතියක් සකස් කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය. තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සතුව දැනටමත් දත්ත පද්ධතියක් පැවතියද දැනට ඊට සම්බන්ධ නොවන විභාග දෙපාර්තමේන්තුව ආදී ආයතන ඒකාබද්ධ කොට එය වැඩිදියුණු කරන ලෙසද මෙහිදී නිර්දේශ කරන ලදී.

එසේම ව්‍යාජ NVQ සහතික හදුනාගෙන වැරදිකරුවන්ට දඩුවම් කිරීමේ අවශ්‍යතාවද කමිටුව පෙන්වා දුන්‍නේය. QR කේතයන් මගින් මෙම සහතික හදුනාගත හැකිවුවද නෛතික ක්‍රියාමාර්ග ගැනීම සදහා පවතින අඩුලුහුඩුකම් සම්පූර්ණ කිරීම සදහා පනත සංශෝධන කිරීම කඩිනම් කරන ලෙස කාරක සභාව උපදෙස් ලබාදීම සිදුකරන ලදී.

රාජ්‍ය හා පෞද්ගලික යාන්ත්‍රණය තුළ රැකියා තනතුරු නාමය ජාත්‍යන්තර හා දේශීයව පිළිගත් නාමයන් බව පත් කිරීමේ අවශ්‍යතාව කාරක සභාව පෙන්වා දෙන ලදී. මේ සම්බන්ධව කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කරන ලෙස ද උපදෙස් ලබා දීම සිදුවිය.

NVQ සහතික ලබා දෙන පාඨමාලා නිසිපරිදී නියාමනය කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි. මුල්‍ය ලාභය පමණක් සලකා ගුණාත්මක නොවන පාඨමාලා පවත්වන ලද ආයතන 81 ක් මේවන විට අතහිටුවා ඇති බවත් නිලධාරීහු මෙහිදී පැවසූහ. නමුත් ඉන් ඔබ්බට ගොස් පුවත්පත් දැන්වීම් මගින් ප්‍රසිද්ධ කිරීම හා එම ආයතන ම්‍රද්‍රා තැබීමට අදාළව නෛතික පියවර සහිත විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද කමිටුව විසින් නිර්දේශ කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ඉරාන් වික්‍රමරත්න, මේජර් සුදර්ශන දෙණිපිටිය සහ සංජීව එදිරිමාන්න යන මහත්වරු මෙම අනුකමිටු රැස්වීමට සහභාගී වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT