Tuesday, May 6, 2025
Home » දැරියක ගණිකා වෘත්තියේ යෙදවූ හෝටල් කළමනාකරුට අත්හිටුවූ සිරදඬුවම්

දැරියක ගණිකා වෘත්තියේ යෙදවූ හෝටල් කළමනාකරුට අත්හිටුවූ සිරදඬුවම්

වින්දිත දැරියට දෙන වන්දිය ඇගේ දරුවන්ගේ බැංකු පොත්වල තැන්පත් කරන්න නියෝග

by sachintha
August 4, 2023 12:21 am 0 comment

වසර 14කට පෙර මවුපියන් රවටමින් කළ වරදට විනිසුරුගෙන් වින්දිත තැනැත්තියට දැඩි අවවාද

දාහතර හැවිරිදි පාසල් දැරියක ගණිකා වෘත්තියේ යොදන ලදැයි අධි චෝදනා ලත් 49 හැවිරිදි හෝටල් කළමනාකාරවරයකුට වසර 15ට අත්හිටවූ වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් හා රුපියල් 25,000ක දඩයක් කොළඹ මහාධිකරණය ඊයේ (04) නියම කළේය.
එම දඬුවමට අමතරව රුපියල් ලක්ෂ 3ක වන්දියක් අදාළ තැනැත්තියට ලබාදෙන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය.
මේ වන විට 64 වියේ පසුවන හෝටල් කළමනාකරු තිදරු පියකු බවත් ඔහු සිය වරද සම්බන්ධයෙන් පසුතැවෙන බවත් වින්දිත තැනැත්තිය පාසල් දැරියක් බවට හඳුනාගත් වහාම ඇය හෝටලයට යළි යළිත් පැමිණීම වැළැකූ බවත් සඳහන් කළේය.
වින්දිත දැරිය 2009 වසරේ දී විත්තිකරුගේ හෝටලයට නො පැමිණ වෙනත් හෝටලයකට යනු දුටු බව ද විත්තිකරු සිය නීතිඥයා මඟින් කරුණු ඉදිරිපත් කළේය.
එම අවස්ථාවේ දැනට දෙදරු මවක වන වින්දිත තැනැත්තිය අධිකරණය ඉදිරියට කැඳවූ විනිසුරුවරයා පාසල් වයසේ දැරියක්ව සිට මවුපියන් රවටා මෙවන් වරදවල් සිදු කිරීම සම්බන්ධයෙන් දැඩි අවවාද ලබා දුන්නේය.
විත්තිකරු විසින් ලබාදෙන රුපියල් ලක්ෂ තුනක වන්දි මුදල වින්දිත තැනැත්තියගේ බාලවයස්කාර දරුවන් දෙදෙනාගේ බැංකු පොත්වල තැන්පත් කරන ලෙසට ද දන්වා සිටියේය.
තමන් අත්කරගත් අවාසනාවන්ත ඉරණම තම දරුවන්ට ලබා නොදෙන ලෙසට ද දන්වා සිටියේය.
විත්තිකරු විසින් සාක්ෂිකාරිය අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදීමට ඉඩ සලස්වා යළි යළිත් අපහසුතාවයට පත් නොකර මුල් අවස්ථාවේම වරද පිළිගැනීම හේතුවෙන් මෙම අත්හිටවූ සිරදඬුවම නියම කළේය.
දැරියට ලිංගික අතවර කළේ යැයි සැකකරන විසි එක් හැවිරිදි තරුණයකුට සහ හෝටල් කළමනාකාරවරයාට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇති බව පොලිසිය අධිකරණයේදී පැවසීය.
අදාළ තරුණයා නොමැතිව වෙනත් අධිකරණයක තවත් නඩුවක් විභාග වන බවට පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පොලිසිය විසින් බරපතළ වරද සිදු කර ඇති චුදිත අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් නොසතුට හා විරෝධය ප්‍රකාශ කළේය.
Òපොලිසිය හැමදාමත් කොහේ හරි කෙනෙක් පස්සේ දුවලා අවශ්‍ය චුදිතයෝ මඟහැර බලා ඉන්නවා.Ó
විනිසුරුවරයා වැඩිදුරටත් පැවැසීය.
චෝදනාවට අදාළ වරද සිදු වී වසර 14කට පසුව මෙම දඬුවම් ලබා දුන්නේය.

රෝෂන් තුෂාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT