Friday, May 9, 2025
Home » මිතුරාට ඇප දෙන්න ආ පුද්ගලයා පර්ස් එකයි හැඳුනුම්පතයි දෙකම උස්සලා

මිතුරාට ඇප දෙන්න ආ පුද්ගලයා පර්ස් එකයි හැඳුනුම්පතයි දෙකම උස්සලා

අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිතයට

by mahesh
August 4, 2023 12:58 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත් සබරගමුව සමූහ - ගාමිණී රම්‍යපාල

නඩු භාණ්ඩයක් ලෙස තොරතුරු පොතෙහි සටහන් තබා තිබුණු ජාතික හැඳුනුම්පත සහ මුදලින් රුපියල් 1510ක් අඩංගු මුදල් පසුම්බියක් කෑගල්ල මුලස්ථාන පොලිසියේදී සොරකම් කරන ලද සැකකරු අගෝස්තු 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කෑගල්ල මොරොන්තොට ගොඩිගමුව අංක 06/01 ලිපිනයේ පදිංචිව සිටින හේනක රාළලාගේ ධනවර්ධන නමැති පුද්ගලයෙකි.

මොරොන්තොට ගොඩිගමුව අංක 7/3 ලිපිනයේ පදිංචිව සිටින 44 හැවිරිදි රාජපක්ෂලාගේ ජානක ප්‍රියන්ත රාජපක්ෂ පුද්ගලයා ඉකුත් 01 වැනිදා පාන්දර බීමත්ව යතුරුපැදියක ගමන් කරමින් සිටිය දී කෑගල්ල පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන කෑගල්ල පොලිසිය වෙත රැගෙන ගොස් ඇත. සැකකරුට පොලිස් ඇප ලබා දීමට කෑගල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම මහතා නියම කර ඇති අතර, සැකකරුගේ මිතුරෙක් වන මොරොන්තොට ගොඩිගමුවේ පදිංචිව සිටින හේනක රාළලාගේ ධනවර්ධන නමැත්තා ද මිතුරාට ඇප ලබා දීමට පොලිසියට පැමිණ තිබේ. බීමත්ව අත්අඩංගුවට ගෙන සිටි සැකකරු සන්තකයේ තිබුණු ජාතික හැඳුනුම්පත මුදලින් රුපියල් 1510ක් අඩංගු මුදල් පසුම්බිය, හිස් වැසුම, ජංගම දුරකතනය උප සේවයේ රාජකාරියේ යෙදී සිටි කාන්තා පොලිස් සැරයන් දමයන්ති (114) නිලධාරිනිය භාරයට ගෙන මේසය මත තබා තොරතුරු සටහන් පොතෙහි සටහන් කිරීමට කටයුතු සිදු කර තිබේ. එම අවස්ථාවේ දී සැකකරුගේ ජාතික හැඳුනුම්පත රුපියල් 1510ක් අඩංගුව මුදල් පසුම්බිය අස්ථාන ගත වී ඇති අතර පසුව කාන්තා පොලිස් සැරයන් දමන්ති (114) නිලධාරිනිය පෙරවරු6.00 සිට සවස 6.00 දක්වා දිවා කාර්ය භාර නිලධාරිනිය ලෙස සේවය කරමින් සිටි කාන්තා උප පොලිස් පරීක්ෂක රාදිකා නිලධාරිනියට දන්වා තිබේ. පසුව පොලිස් නිලධාරිනියන් දෙදෙනා අස්ථානගත වී ඇති මුදල් පසුම්බිය සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන අවස්ථාවේ දී බීමත්ව සිට අත්අඩංගුවට ගත් පුද්ගලයාට ඇප ලබා දීමට පැමිණ සිටි මිතුරාගේ කලිසම් සාක්කුවක තිබී අතුරුදන්ව තිබුණු මුදල් පසුම්බිය අත්අඩංගුවට ගෙන ඇත.

පසුව අත්අඩංගුවට ගත් සැකකරු කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බාලසූරිය මහතාගේ උපදෙස් පරිදි ප්‍රකාශ සටහන් කර කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය වෙත ඉදිරිපත් කෙරිණ. එහිදී සැකකරු අගෝස්තු 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT