චීනයේ හෑන්ග්ෂූහි ලබන මාසයේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උලෙළ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ වැඩ බලන සභාපති රන්දීර් සිංග් මහතාගේ නායකත්වයෙන් සිදුකිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අනුමැතිය හිමිවෙයි.
පසුගියදා පැවති ආසියානු ඔලිම්පික් කවුන්සිල නිලවරණය දූෂිත බව පවසා එම ඡන්ද ප්‍රතිඵල අවලංගු කරමින් සභාපති ධුරයේ කටයුතු ආවරණය කරන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව රන්දීර් සිංග් මහතාගෙන් ඉල්ලීමක් කළ අතර, මේ වන විට ඉන්දීය ජාතිකයා එම ධුරයේ තාවකාලික වගකීම් ඉටුකරමින් සිටී.
මෙයට පෙර ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස සේවය කළ ෂෙයික් අහමඩ් අල් ෆහාඩ් මහතාගේ සේවය ස්වයං අත්හිටුවීමකට ලක්කොට ඇති අතර, ඒ අනුව රන්දීර් සිංග් මහතා වෙත හෑන්ග්ෂූ ආසියානු ක්‍රීඩා උලෙළේ සියලු මෙහෙයුම් කටයුතුවල වගකීම් පැවැරී තිබේ.
පසුගිය මස 8 වැනිදා බැංකොක්හී පැවති ආන්දෝලනාත්මක ආසියානු ඔලිම්පික් කවුන්සිල නිලවරණයෙන් පසු ෂෙයික් අහමඩ් අල් ෆහාඩ් මහතාට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් වසර තුනක තහනමක් පනවා ඇති අතර, ෂෙයික් අහමඩ්ගේ බාල සොහොයුරා වන ෂෙයික් තලාල් ෆහාඩ් අල් සබාගේ තේරී පත්වීම ප්‍රතික්ෂේප කිරීමට ද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පියවර ගත්තේය.
මතභේදයකට ලක්ව ඇති ආසියානු ඔලිම්පික් සභාපති පත් කිරීමේ නිලවරණයේදී ඡන්දය භාවිතා කළ ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාගෙන් විසීමට ගත් උත්සාහය අසාර්ථක වූ හෙයින් දුරකතනය ඔස්සේ එහි මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගෙන් ‘දිනමිණ’ විමසීමක් කළේය. එහිදී ඒ මහතා සඳහන් කළේ ආසියානු ඔලිම්පික් සභාපතිවරයා පත් කිරීමේදී ඡන්ද අයිතිය හිමිව තිබුණේ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති සුරේන්ද්‍රන් සුබ්‍රමනියම් නාමයෙන් පමණක් බවයි.
“මම ගියේ නියෝජිතයෙක් හැටියට පමණයි. මා සමඟ ජාතික වෙඩි තැබීමේ සංගමයේ සභාපති ශිරන්ත පීරිස් මහතා නියෝජිතයෙක් හැටියට සහභාගී වුණා. එක ඡන්දයයි අපට තිබුණේ. සභාපති ලෙස සුබ්‍රමනියම් මහතා තමයි ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව වෙනුවෙන් ඡන්ද නියෝජිතයා ලෙස නිලවරණයේ ඡන්දය පාවිච්චි කළේ. ඔහු කවුරු වෙනුවෙන් ඡන්දය දුන්නාද කියා මා දන්නේ නෑ. නමුත් නිලවරණයට අදාළ සියලු සාකච්ඡා සඳහා ඔහු පමණයි එක් වුණේ. කිසිම සාකච්ඡාවකට මා සහභාගී වූයේ නෑ. නියෝජිතයන් ලෙස සහභාගී වූ අපට ඒ සඳහා බලයක් නෑ. පැවති සාකච්ඡා හා ඡන්ද භාවිතය ගැන දන්නේ සභාපති සුබ්‍රමනියම් මහතා පමණයි” මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවසීය.
මතුව ඇති මේ තත්ත්වය ළඟ එන ආසියානු ක්‍රීඩා උලෙළට කිසිදු බලපෑමක් නැතැයි ජාතික ඔලිම්පික් කමිටු මහලේකම්වරයා අප කළ විමසීමකදී පැවසීය. ආසියානු ක්‍රීඩා උලෙළේ සියලු අවශ්‍යතා සම්පූර්ණ වෙමින් පවතින බව ඒ මහතා සඳහන් කළේය. “වෙනදා ආකාරයටම ආසියානු ක්‍රීඩා උලෙළ පැවැත්වෙනවා. වැඩ බලන සභාපති සියලු රටවල් සමඟ එක්ව අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කරමින් පවතිනවා. එයට අමතරව සත්කාරක චීනයේ හෑන්ග්ෂූ නුවර උසස් ලෙස සියල්ල සංවිධාන කොට හමාරයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවශ්‍යතා වෙනුවෙන් අපේ උපරිමය ලබා දෙනවා. මේක බලා ඉන්න බැරි අය මඩ ප්‍රචාර ගෙන යනවා. එයින් අප සැලෙන්නේ නෑ. තවත් උනන්දුවී ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් කැප වෙනවා” ඔලිම්පික් මහ ලේකම්වරයා පැවසීය.
මේ ක්‍රීඩා උලෙළ පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ අතර, කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසර දක්වා කල්දැමිණි. කෙසේ වෙතත් ක්‍රීඩා උලෙළ මේ වසරේ පැවැත්වෙන්නේ 2022 ක්‍රීඩා උලෙළ ලෙසිනි.