Home » බැද්දෙ රාල අමුඩ කොටේ ගලවාගෙන අයියෝ

බැද්දෙ රාල අමුඩ කොටේ ගලවාගෙන අයියෝ

by sachintha
August 5, 2023 6:05 am 0 comment

වැහි බලිය අරින්නේ පායන සැරට, උත්තර දෙන්නය. ආතුරයෙක් නොමැතිව මේ යාගය පවත්වන්නේය. වැස්ස යදිමින්, කරන කන්නලව්වක් ලෙසය. එහෙම දේව කරුණාව පහළ කරගන්නවාට අමතරව, වැහි දෙවියන්ට ලැජ්ජා කර ඉල්ලීම් දිනා ගන්නා, වැහි බලි විශේෂයක් ද නුවර කලාවිය පළාතේ තිබේ. ‘අලි බලලා එපා වෙන්නෙත් නෑ – බලි බලලා එපා වෙන්නෙත් නෑ’ කිවුවට මේ බලිය එහෙම බලන්නට දෙන්නේ නැත. ඒකට කියන්නේ හෙලුවැලි බලිය කියාය.

අලුත් හුඹස් මැටියෙන් ස්ත්‍රි පුරුෂ ලෙස වෙන වෙන ම දේව රූප දෙකක් ප්‍රථමයෙන් අඹනු ලැබේ. ඒවා නග්න මූර්තිවේ. මෙම ‘හෙලුවැලි බලි රූ’ ද්විත්වය බිම් කළුවර වැටෙන යාමයේ වැව් පිටියට රැගෙන යන්නේය. නිරුවත් බලි රූ වැව් පිට්ටනියේ සිටුවා, බලියට ගිය සියල්ලෝ නිර්වස්ත්‍රයෙන් නටන්නට ගයන්නට පටන් ගනිති. නොසරුප් කවි ගයති. හිතු මතේට ශබ්ද තාල නඟා හූ කියති. උරුවම් බාති. කාමය හා සම්බන්ධ අපහාස වදන් කියමින් දෙවියන්ට සමච්චල් කරති.

“බැද්දෙ රාල අමුඩ කොටේ ගලවාගෙන අයියෝ

සද්ද නොකර වහං උනයි වැහි ගම්පල දෙයියෝ”

ආදී ලෙස කවි ගායනා කරති. බලිය බැලිය හැක්කේ, වැඩිහිටි පිරිමින්ට පමණි. රාත්‍රිය මුළුල්ලේ වැඩේ සිදු කරගෙන ගොස්, හිමිදිරියේ, ඇටි කුකුළා බුක් ගාන යාමයේ බලිය නතර වේ. අමු හෙලුවෙන් නැටූ උදවිය, හෙලුවැලි බලි දෙක වැව් පිටියේ දමා පැමිණෙති. මේ මැටි රූප පාන්දර වැව් පිටියට එන උදවිය දකීවි යන ලජ්ජාව වැහි දෙවියන්ට ඇති වී, ඒ මැටි රූ දියව යන තෙක් වැසි වැටෙනා බව රජරට ගැමියා විශ්වාස කරන්නේය.

බලි කතාව පැත්තකින් තබා මේ ඉල්ලීම් කරන ආකාරය අද මේ තීරුවේ අවධානයට පාත්‍ර වන්නේය. එකක් වන්නේ දුක, ඒ ලෙසම කියා පෑමය. දුක හිතෙන ආකාරයට, අසරණයෙක් ලෙස සිය ඉල්ලීම කිව හැක්කේය. එහෙමත් බැරි නම් ටිකක් විතර ප්‍රචණ්ඩව ඉල්ලීම කළ හැක්කේය. සමහර විට සපුරා, සතුරු ප්‍රවේශයක් ගෙන ඉල්ලීම සඳහා යා හැක්කේය. හෙලුවැලි බලිය වූ කලි, ඒ සියල්ලට වෙනස් ප්‍රවේශයකි. තමන් ද සළු පිලි ගලවා ලජ්ජාවෙන් හිඳ අනෙකාට ලජ්ජා හිතෙන ආකාරයෙන් හැසිරීම, එහි ස්වරූපය වේ. එහෙම ඉල්ලීම් දිනා ගැනීමේදී, මුලින්ම ලැජ්ජාවට පත් වන්නේ ඉල්ලන එකාය.

ස්වයං ලජ්ජාවට පත් වීමේ අවාසිය වන්නේ, නිරුවතින් පිටියක නටා, ඉල්ලීම ඉටු නොවුණහොත් ‘ආයෙත් නැටුමක්’ නැති බැවිනි.

මිහින්තලේ රජමහා විහාරයේ විදුලිය විසන්ධි කර තිබේ. එහි විදුලි බිල රුපියල් ලක්ෂ හතළිස් එකක් වූ විට, මණ්ඩලේට කළ හැක්කේ, රතු බිල එවා ‘ගෙවන ලෙස අවධාරණය’ කිරීමය. ඒ නිවේදනයට කන් නුදුන්නේ නම්, විදුලිය විසන්ධි වන්නේය.

විදුලිය ගාස්තු එක්වරම ‘බර ගාණකින්’ වැඩිවූ වෙලාවක් රටේ තිබුණේය. ඒ වෙලාවේ පන්සලේ ලයිට් මීටරය ද අන් තැන්වල ආකාරයට කරකැවෙන්නට පටන් ගත්තේය. ඒ කියන්නේ එතුවක් කල් තිබූ සුවිසල් සහනය පූජනීය ස්ථාන සඳහා අහිමි විය. පන්සල කියන්නේ ආදායම් උපයන තැනක් නොවේ. එහෙම තැනකට, විදුලි බිල වැඩිවීම දරා ගත නොහැකිය. ඒ නිසා යම් සහනයක් එම ස්ථානය සඳහා අවශ්‍ය වන්නේය. මේවා බලපාන්නේ දායක කාරකාදීන් හිඟ පාඩු විහාරස්ථාන වෙතය. ඒත් ‘උතුරන්නට ලැබෙන’ පන්සල් ද තිබේ. ඒවා රටට බරක් නොවී මෙවැනි බිලක් ගෙවා දැමුවා කියන්නේ, රටේ බරකට යම් තරමකට හෝ උරදීමය. ඒ වෙනුවට සමහරු කළේ, ‘හෙලුවැලි යාගයෙන්’ ඉල්ලීම් දිනා ගැනීමට යෑමය.

පිණ්ඩපාත සිරිත වැනි බුදු වතේ ද ඇතුළත් අංගයක්, අල්ගප්පද්දුම ආකාරයෙන් ඒ පිරිස අල්ලා ගත්තේය. ඒ කියන්නේ සර්පයා වලිගයෙන් අල්ලා, නතු කර ගැනීමට උත්සාහ දැරීමය. පාත්‍රය දික් කරගෙන, සල්ලි ඉල්ලූහ. පොසොන් පොහොයට, ඒ මාහැඟි සිද්ධස්ථානය, කළුවරේ තබා, පාලකයන්ට පාඩම් ඉගැන්වීමට උත්සාහ කළහ. ඒවා දැක බලය සහ මොළය දෙකම අහිමි, දේශපාලන ගැන්සි, මිහින්තලේට ‘ලෑන්ඩ්’ කළේය. හෙලුවැලි යාගය සඳහා ඒ පිරිස ද එක් වූහ. දැන් වැඩේ නැඟලා යන්නේය. ඒ වුණාට තාම විදුලිය ඇති බැවින්, පන්දම් පාලිය අල්ලන්ට නොහැකිය. වහ වහා තවත් පුවත් මැවිය යුතුය. විදුලි බිල ගෙවා දැමුවොත්, යාගයට පාඩුය. අනික මේවාට රැවටෙන පිරිසක් ද ඇති බැවින්, ඉල්ලමක් බවට ද මේ යාගය පත් කර ගත හැක්කේය. පාත්‍රය අතට ගෙන ‘පොඩි කාසි’ ගන්නවාට වඩා, මේ ඉල්ලම දෙස බලා, ගැරුම් වට්ටිය අතට ගත් වන, යාගයේ අරමුණු ඉටු වන්නේය.

ඒ නිසා වලවාහැංගුණ ද මේ අය හැංගුණේ නැත. එළිපිට යාගය පටන් ගත්තේය. ඒ සඳහා දේශපාලන ගැන්සි ද සෙට් වී, වීරයාට අන්දන විට, එකිනෙක ඇඳුම් ගලවා යාගය එළිපිටම නටන්නට පටන් ගති. වැහි පතා කරන යාගයේදී, කාන්තාවන්ට සහ පොඩි දරුවන්නට එය තහනම් කලාපයකි. මේ යාගය රටටම විවෘතය. ඉල්ලීම් ඉටු වුණ ද නැති වුව ද තමන් ලජ්ජාවට පත් වී අවසන් බව තවම යාගය නටන්නා දන්නේ නැත.

මිහින්තලේ කරන්ට් කැපීම වූ කලි, නොකළ යුත්තකි. ඒ ශුද්ධ භූමිය උදෙසා එවන් කැපවීමක් ජාතිය කළ යුත්තේය. ඒ සඳහා සීමා ඇත්තේය. විදුලිය සහ වගාව අතර ප්‍රශ්නයක් දැන් හටගෙන තිබේ. එහිදී වගාවට ජලය මුදාහැර, හදිස්සි මිලදී ගැනීම් යටතේ විදුලිය රටට දීම සඳහා ආණ්ඩුව තීරණය කර තිබේ. එවන් අවස්ථාවක, ලයිට් බිල සඳහා පොලු තැබීම යනු ‘අනේ කපලා පලයන්’ යැයි කීම පමණක් නොවේ. “රටේ ප්‍රශ්න අපිට වැඩක් නැහැ. අපිට නිකම්ම, ඇති පදමට ලයිට් දීපං” වැනි කතාවකි. මේ එහෙම කාලයක් නොවේ. එහෙව් අවස්ථාවක’ සැමට සමානව’ සලකන අතරේ, සමහර එකාලා නටන හෙලුවැලි යාගයද රටටම පෙන්විය යුතුය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT