Home » නිදහස් වුණත් දඬුවම් විඳින අවුන් සාන් සුකී

නිදහස් වුණත් දඬුවම් විඳින අවුන් සාන් සුකී

by sachintha
August 5, 2023 6:00 am 0 comment

 

1991 වසරේ නොබෙල් සාම ත්‍යාගයේ හිමිකාරිනියට එරෙහිව මියන්මාර හමුදාව විසින් ගෙන එන ලද චෝදනාවලින් වැඩි ප්‍රමාණයක් වෙන් කර ඇත්තේ දූෂණ චෝදනා සඳහාය. දූෂණ චෝදනා පනත යටතේ ඇයට චෝදනා 12ක් එල්ල වී තිබූ අතර, එක් චෝදනාවකට වසර 15ක් දක්වා සිරදඬුවමක් හෝ දඩයක් නියම කිරීමේ හැකියාව පැවතුණි. ”

මියන්මාරය සම්බන්ධයෙන් අප අද කතාබහ කළද අතීත කතා කියවන්නේ නම් අපට එරට හමුවන්නේ බුරුමය නමිනි. බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති එරට ඔවුන්ගෙන් නිදහස් වූයේ 1948 වසරේදීය. නිදහස ලබා ගත්තද ඔවුන්ට නිදහස් සාමකාමී රටක් ලෙස ගොඩනැඟෙන්නට නොහැකි විය. මේ අතර වාරයේ නොයෙකුත් ගැටුම් මෙන්ම වාර්ගික අරගලයන්ද සංකලනව ඉදිරියට ගලා ගිය බුරුමයට 1962 වසරේ සිට 2011 දක්වා හමුදා ජුන්ටාවක පාලනයට නතු වන්නට සිදු විය. මේ අතරවාරයේ මානව හිමිකම් කඩවීම් බහුලව සිදු වූ නිසා බුරුමය සම්බන්ධව ජාත්‍යන්තරයට කාන්දු වූයේ යහපත් ප්‍රවෘත්තීන් නොවේ. මේ නිසා ජාත්‍යන්තරයේ නොයෙකුත් සම්බාධක හමුවේ 2010 සිට ක්‍රමානුකූලව ලිබරල්කරණයක් දියත් වූ අතර, මේ අවස්ථාව ලැබීමත් සමඟ විපක්ෂයේ නායකත්වය දැරූ අවුන්සාන් සුකී මැතිවරණයට ඉදිරිපත් විය. මේ සමඟම මැතිවරණයෙන් ජය ලැබූ ඇය රජයක් පිහිටුවීමට ඉදිරිපත් විය. කෙසේ වුව ඇයගේ පාලනය සම්බන්ධයෙන් ද නොයෙක් දෙනාගේ දෝෂාරෝපණ ඇය වෙත එල්ල වූ අතර, ඇයට සිදු වූයේ 2021 හමුදා කුමන්ත්‍රණයත් සමඟ ධුරයෙන් ඉවත් වීමටය.

මියන්මාරයේ සුකී

මියන්මාරයේ සුකී සම්බන්ධයෙන් මතුව එන කතා අද ඊයේ සිදු වූ සිදුවීම්වලට බද්ධ වූ ඒවා නොවේ. ඒවාහි ඉතිහාසය මීට දශක ගණනාවක්ම ඈතට දිව යයි. මේ සියල්ලන්ගේම ප්‍රතිඵලය වූයේ තම ජීවන කාලයෙන් වසර ගණනක් ඇයට නිවාස අඩස්සියේ හිඳින්නට සිදු වීමයි. මේ සියලු කටයුතු හේතුවෙන් මියන්මාර හමුදා පාලනය යටතේ ක්‍රියාත්මක වන අධිකරණ ක්‍රියාදාම මත ඇයට එම අණට යටත්ව හිඳින්නට සිදු විණි.

2021 වසර දක්වා මියන්මාරයේ බලය සියතට ගෙන රට පාලනය කළ අවුන්සාන් සුකීගේ බලය බිඳ වැටෙන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. 2021 වසරේ පෙබරවාරි 01 වැනිදා සිදු වූ හමුදා කුමන්ත්‍රණයත් සමඟ ඇයව ධුරයෙන් ඉවත් කෙරුණු අතර, ඇයට අත්වූයේ සාමාන්‍ය පුරවැසියකුටත් වඩා අන්ත ඉරණමකි. ඒ මන්ද යත් හමුදා කුමන්ත්‍රණයත් සමඟ ඇයට සිදු වූයේ තම පක්ෂ සාමාජිකයන්ද සමඟ සිරගත වීමටයි. ඒවා සෙල්ලමට වාගේ හෝ ගත් ක්‍රියාමාර්ගයන් නොවීය.

ඇය සිරගත කරනවාත් සමඟම ඇයට එරෙහිව චෝදනා රැසක්ද ගොනු විය. ඒවා ගොනු කළා පමණක් නොව මියන්මාර පාලනය විසින් ඇයව වරදකරු බවට ද පත් කළේය. වරද නිවරද කවරක් වුවත් ලෝකයේ සියලු තැන්හි සිදු වන්නා සේ වරදකරු බවට පත්වූ සුකී තමා නිවැරදිකරු බව සඳහන් කර සිටියාය.

අවුන්සාන් සුකී කවර කාලයක් මියන්මාරයේ ජීවත් වී කුමන දේශපාලන මතයක් දැරුවද ඇයට ඉහ ගසා සිටීමට නම් තවත් කල්ප කාලයක් ගත වුවද නොහැකිය. එය ඇයට දැලි පිහියෙන් කිරි කන්නා වාගේ වැඩකි. ඊයේ පෙරේදා ඇය සම්බන්ධයෙන් අලුත් ප්‍රවෘත්තියක් ලැබෙන්නට පෙර සුකී එරට බන්ධනාගාරගතව සිටියාය.

ඇය එරට බන්ධනාගාරගතව සිටින කාලයේදී හමුදා ජුන්ටාව විසින් කිසිදු දිනක නොකළ අන්දමේ සත්කාරයක්ද ඇය වෙනුවෙන් සිදු කළේය. එනම් මියන්මාර හමුදාව විසින් ඇයව මුණගැසීම සඳහා විදේශිකයකුට අවසර ලබා දීමයි. එය සිදු වූයේ පසුගිය ජූලි 9 වැනිදාය. එසේ සුකීව හමුවීමට පැමිණියේ තායිලන්තයේ විදේශ ඇමැතිවරයාය.

කෙසේ වෙතත් සුකී 2021 වසරේදී සිර භාරයට ගැනීමත් සමඟ බලයෙන් පහ කළ ඇයව වසර හතක සිරදඬුවමකට ලක්කළාය. බරපතළ ගණයේ චෝදනාවන්ට අමතරව විසම්මුතිය ඇති කිරීම සහ කොවිඩ් නීතිය කඩකිරීම යන චෝදනාවන්වලට ද ඇය ලක්විය. ඒ මොහොතේදී ඇයට එල්ලව තිබූ චෝදනා ගණන වූයේ 11කි. ඒ මොහොතේදීද ඇය එම චෝදනා 11ම ප්‍රතික්ෂේප කළාය.

පෙර සඳහන් කළාක් මෙන් NLD පක්ෂයේ නායකයා සහ හිටපු ජනපතිවරයා ද සිරගත කිරීම බෙහෙවින් සමාජයේ කතාබහට ලක්විය. මේ කාලයේ ඇය අත්අඩංගුවට ගැනීමත් සමඟ වෛද්‍යවරයෙක් පවසා තිබුණේ ඇයට වසර 104ක සිරදඬුවමක් ක්‍රියාත්මක කිරීමට සැරසෙන බවත් පාලකයන්ට අවශ්‍යව ඇත්තේ ඇය සිරදඬුවම විඳිමින් සිටින සමයේදීම මිය යාම බවයි. 2021දී මියන්මාර හමුදාව පාලනය තමන් යටතට ගන්නා විට පැවසුවේ NLD පක්ෂය ලැබූ ජයග්‍රහණය වංචාවකින් අත්කරගත් බවයි. එහෙත් ඔවුන් එසේ පවසා සිටිය ද ස්වාධීනව මැතිවරණ නිරීකෂණයන් පවසා තිබුණේ එය සාධාරණව පැවැත්වූ මැතිවරණයක් බවයි.

කොයි හැටි වෙතත් සිර භාරයට ගත් සුකී සම්බන්ධයෙන් පැවැත්වූ නඩු විභාග වීමෙන් අනතුරුව ඇයට වසර 33ක සිරදඬුවමක් නියම විය. පසුව ඇය නිවාස අඩස්සිය යටතේ තබන ලදි. පසුගිය කාලයේ පැතිර ගිය පුවතක් වූයේ සුකී රෝගාතුරව සිටින බවයි. නමුත් කටකතාවක් බඳු එම පුවත මියන්මාර හමුදාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් පවසන්නේ ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවයි. එයට සත්‍යයක් ලෙසින් පිළිගත හැකි කාරණාවක්ද වේ. එනම් ඇයව හමුවීමට ආ තායිලන්ත විදේශ ඇමැතිවරයා ද මේ බැව් සඳහන් කර තිබීම හේතුවෙනි.

එල්ල වූ චෝදනා

2021 වසරේදී ඇය සිර භාරයට ගැනීමත් සමඟ ඇයට එල්ල වූ චෝදනා ගණන 11ක් පමණ වූ මුත් වර්තමානයේදී එය චෝදනා 19ක් දක්වා වර්ධනය වී තිබේ. 2021 වසරේදී මුලින්ම චෝදනා එල්ල වීමත් සමඟම ඇයව වසර 7ක සිරදඬුවමකට යටත් කරන ලදි.

ඇයට ගොනුව තිබූ චෝදනා අතරින් එල්ල වූ භයානකම චෝදනාව වූයේ ඇය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වරදකරුවකු බවට පත්වූ ව්‍යාපාරිකයකුගෙන් ඩොලර් 550,000ක අල්ලසක් ලබාගත් බවයි.

මෙහිදී ඇය එම චෝදනාව ප්‍රතික්ෂේප කිරීමට වගබලා ගත්තාය. 1991 වසරේ නොබෙල් සාම ත්‍යාගයේ හිමිකාරිනියට එරෙහිව මියන්මාර හමුදාව විසින් ගෙන එන ලද චෝදනාවලින් වැඩි ප්‍රමාණයක් වෙන් කර ඇත්තේ දූෂණ චෝදනා සඳහාය. දූෂණ චෝදනා පනත යටතේ ඇයට චෝදනා 12ක් එල්ල වී තිබූ අතර, එක් චෝදනාවකට වසර 15ක් දක්වා සිරදඬුවමක් හෝ දඩයක් නියම කිරීමේ හැකියාව පැවතුණි. එමෙන්ම නීති විරෝධී ආකාරයෙන් වෝකිටෝකි යන්ත්‍ර ළඟ තබා ගැනීම මෙන්ම ආනයනය කිරීම, දේශ ද්‍රෝහීත්වය, කොරෝනා නීති උල්ලංඝනය කිරීම, රටේ නිල රහස් පනත් උල්ලංඝනය සහ මැතිවරණ දූෂණ හා වංචා සම්බන්ධව කරුණු පහක් යටතේ ඇය වරදකරුවකු බවට පත්කර තිබූ අතර, ඒ වන විට වසර 23ක් දක්වා ඇයගේ සිරදඬුවම් කාලය ඉහළ නංවා තිබිණි. රහස් නීතිය යටතේ ඇය ඔස්ට්‍රේලියානු ආර්ථික විද්‍යාඥයකු සමඟ වරදකරුවකු බවටද පත්විය.

දහනවයෙන් පහකට සමාව

මෙකී චෝදනාවලින් ඇයගේ දූෂණ අක්‍රමිකතා අවසන් නොවිනි. රත්රන් සම්බන්ධයෙන් ඇයට චෝදනාවක් එල්ල වූයේ 2022 අප්‍රේල් 27 වැනිදාය. එයට වසර 5ක සිරදඬුවමක් ඇයට ලැබිණි. මේ සඳහා හේතු වූයේ ඩොලර් 600,000ක් සහ රත්රන් පොලු 11.4KGක් අල්ලස් ලෙස ලබා ගැනීමයි. මේ අතරම සුකී, සභාපතිවරයා ලෙසින් කටයුතු කළ Daw khin Kyi පදනමේ නිවාසයක් තැනීම වෙනුවෙන් රජයේ ඉඩමක් වට්ටමක් සහිතව බදු දීම, මුදල් අවභාවිතය යන කරුණු වෙනුවෙන් 2022 අගෝස්තු 15, මීට වසරකට පමණ පෙරදී ඇයට වසර හයක සිරදඬුවම් කාලයක් නියම කෙරිණි. එමෙන්ම හෙලිකොප්ටරයක් මිලදී ගෙන නඩත්තු කිරීම, තනතුර අනිසි ලෙස භාවිතා කරමින් රාජ්‍ය මුදල් සඳහා අලාභහානි කිරීම වැනි චෝදනාද ගොනු විය.

කෙසේ වෙතත් 78 හැවිරිදි වියේ පසුවන සුකී පසුගිය සඳුදා Nay Pyi Tawහි බන්ධනාගාර ගොඩනැඟිල්ලකට ගෙන ගිය බව BBC පුවත් සේවය සඳහන් කරයි. මේ වන විට වසර 33ක සිරදඬුවමකට යටත් වී සිටින ඇය සම්බන්ධයෙන් AFP පුවත් සඳහන් කර සිටින්නේ ඇයගේ ස්ථාන මාරුව නිශ්චිතවම සිදුව ඇති බවයි. මේ කතන්දර කෙසේ වුවද මියන්මාරයේ රාජ්‍ය මාධ්‍ය පසුගියදා ප්‍රකාශ කර සිටියේ සුකී සම්බන්ධයෙන් ඇති නඩු 19න් පහකට සමාව දී ඇති බවයි. මේ පුවතට අනුව AFP පුවත් සේවයේ මතය වන්නේ මෙයින් අදහස් වන්නේ ඇයගේ වසර 33ක සිරදඬුවම් කාලය වසර හයකින් අඩුවීමක් විය හැකි බවයි.

කොයිහැටි වෙතත් අමෙරිකා එක්සත් ජනපදයේ ස්කයි පුවත් සේවය පෙන්වා දෙන්නේ ද සුකීට නිදහස ලබා දෙන්නේ චෝදනා 5ක් සඳහා පමණක් බවයි. එමෙන්ම ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ චෝදනා 5ක් යටතේ සමාව ලබා දුන්න ද ඇයට එරෙහිව තවත් චෝදනා 14ක් තිබෙන බැවින් තවදුරටත් සුකීව නිවාස අඩස්සියේම තබාගන්නට ඔවුන් කටයුතු කරනා බවයි.

අවුන්සාන් සුකීට මේ අයුරින් නිදහස ලැබුණේ පොදු සමාවක් යටතේය. බොදු රටක් වූ මියන්මාරයේ වස් කාලය ආරම්භ වූයේ පසුගිය පොහෝ දිනයි. ඒ වෙනුවෙන් සිරකරුවන් 7000කට වැඩි සංඛ්‍යාවකට පොදු සමාව යටතේ නිදහස ලබා දීම හේතුවෙන් ඇයට ද මෙම සමාව ප්‍රදානය කෙරිණි.

එහෙත් කතාබහ කළ යුතුම මාතෘකාව වන්නේ ඇයට තවත් චෝදනා 14ක් ඉතිරිව තිබීමත් ඉතිරිව ඇත්තේ බරපතළම ගණයට වැටෙන චෝදනා වීමත්ය. එම නිසා චෝදනා මාලාවේ නිදහස සුකීට ඇත්තේ තවත් දුරිනි.

රජිත බස්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT