පොලිසිය කරුණු පැහැදුවත් හිමිනම එකඟ වී නෑ
අනෙක් පන්සල්වලටත් යන්න එපා කියලා
පොලිස් ආරක්ෂාව මැද වෙන පන්සලකින් පාංශුකූලය දීලා
මියගිය 66 හැවිරිදි හත්දරු මවගේ පාංශුකූල කටයුතු භාර දීමට ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමක් රුපියල් විසිහතරදහසක මුදලක් ඉල්ලා සිටින බවට මියගිය කාන්තාවගේ පුතු විසින් පසුගියදා (02) පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසු පොලිසිය මැදිහත් වී වෙනත් විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලා දහනමක් වැඩමවා පොලිස් ආරක්ෂාව මැද පාංශුකූල කටයුතු සිදු කළ පුවතක් දිඹුලාගල අරලගංවිල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.
අරලගංවිල සූරියගල රුහුණගම අංක 164 ලිපිනයේ පදිංචි එන්.පී. දොලි මැණිකේ (66) නැමැති කාන්තාව පසුගියදා මියගොස් ඇති අතර,
මවගේ පාංශුකූල කටයුතු කිරීමට ගම්මානයේ විහාරස්ථානයට ගිය ඇගේ පුතුගෙන් විහාරාධිපති හිමියන් පාංශුකූලය සඳහා රුපියල් 24,000 මුදලක් ඉල්ලා තිබේ. මේ සම්බන්ධයෙන් සිද්ධියට මුහුණදුන් පුත්‍රයා වන සඳකැළුම් සම්පත් කුමාර යන අය පොලිසියට පැමිණිල්ලක් සිදු කළ බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල මහතා සඳහන් කළේය. අනතුරුව විහාරාධිපති හිමි පොලිසියට වැඩමකරවා එම පවුල පත්ව ඇති අසරණභාවය පිළිබඳ පැය දෙකකට අධික කාලයක් ස්වාමීන් වහන්සේව දැනුම්වත් කළත් ඉන් ඵලක් නොවුණු නිසා පොලිසිය මැදිහත් වී කජුවත්ත ආරණ්‍ය සේනාසනයෙහි වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා දහනමක් වැඩම කරවා පොලිස් ආරක්ෂාව මැද පාංශුකූල කටයුතු කර මවගේ දේහයේ අවසන් කටයුතු බඩල්කුඹුර පොදු සූසාන භූමියේදී සිදු කළ බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම පවුලට වසර දෙකකට අධික කාලයක් මවගේ රෝගාතුර තත්ත්වය සහ විවිධ අපහසුතා මැද විහාරස්ථානයට දානය ලබා දීමට නොහැකි වී තිබේ. ඊට දඩ මුදලක් වශයෙන් මාසයකට රුපියල් දහස බැඟින් විහාරස්ථ දායක සභාවට රුපියල් 24,000ක මුදලක් ගෙවන ලෙසටද එම පාංශුකූල ආරාධනාවට ගිය පුතුට විහාරාධිපති ස්වාමීන්වහන්සේ පවසා තිබේ. පවුලට ඥාති සම්බන්ධකම් තිබෙන මිහින්තලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ නමක් පාංශුකූල කටයුතුවලට වඩින බව දැනගත් පසු එයද අදාළ ස්වාමීන්වහන්සේ වළක්වා ඇති අතර, මෙම තත්ත්වයෙන් අසරණභාවයට පත් පුතු අවසානයේ මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කර ඇත.
අදාළ විහාරාධිපති හිමිනම අවට විහාරස්ථානවලට සහ කජුවත්ත ආරාමයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේට ද එම නිවෙසේ පාංශුකූලවලට සහ අවසන් කටයුතුවලට නොවඩින ලෙසට බලපෑම් කර ඇති බවද පොලිසිය සඳහන් කළේය.
මනම්පිටිය නිමල් ජයරත්න