පොලොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ හා ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන් අහංගම විතාරණලාගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධ අධි චෝදනා, සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ඇතුළුව පැමිණිල්ලට අදාළව විත්ති පාර්ශ්වයට ලබා දී ඇති සී. ඩී. තැටිවල අඩුපාඩු ගණනාවක් තිබෙන හෙයින් පැමිණිල්ල විසින් අධිකරණයට ගොනු කර ඇති ලේඛන ඇතුළත් සී. ඩී. තැටියක් විත්ති පාර්ශ්වයට ලබා දෙන ලෙසට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (10) පස්වරුවේ එහි රෙජිස්ට්රාර්වරයාට නියෝග කළේය.
සහන් මාපා බණ්ඩාර (සභාපති), රස්මි සිංගප්පුලි හා ඩී. ඒ. රුවන් පතිරණ යන මහත්වරුන් ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ එම නඩුව ඊයේ (10) පස්වරුවේ නැවත කැඳවනු ලැබීය.
මෙහිදී විත්තිකරුවන් තිස්හත්දෙනාම අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.
මොවුන් අතරින් ඇප තබා ගැනීමට නොහැකි වී ඇති විත්තිකරුවන් පස්දෙනෙක් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
අනෙක් විත්තිකරුවන් තිස්දෙදෙනෙක් ඇප මත සිටිමින් අධිකරණය ඉදිරියට පැමිණ සිටියහ.
මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු දක්වමින් සිද්ධිය වූ ස්ථානයේ සංස්කරණය නොකළ දර්ශන විත්ති පාර්ශ්වයේ නීතිඥ මහත්ම මහත්මීන් හට පසුගිය 04 වනදා ප්‍රදර්ශනය කිරීමට සූදානම් කෙරුවත් තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් එය අසාර්ථක වූ බව කියා සිටියේය.
මේ හේතුවෙන් එකසිය පනස් හය වන සාක්කිකරු වශයෙන් නම් කර ඇති ජ්‍යෙෂ්ඨ රස පරීක්ෂකවරයෙකු වන සඳගිරි මහතාගේ සහාය ලබා ගෙන ඊළඟ නඩු දිනයට පෙර විත්ති පාර්ශ්වයේ නීතිඥ මහත්ම මහත්මීන් හට එම දර්ශන ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීය.
චමින්ද අතුකෝරළ මහතා:-
එම දර්ශන ප්‍රදර්ශනය කරන අවස්ථාවට වෝහාරික විශේෂඥවරයෙකුගේ සහාය ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.
නීතිඥ හරිත් හෙට්ටිආරච්චි මහතා:-
පැමිණිල්ලට අදාළ ලේඛන ඇතුළත් සී. ඩී. තැටි අපට ලැබුණා. එම සී. ඩී. තැටිවලින් ගොනු තුනකට අදාළ පිටපත් ලබා ගත්තා. නමුත් එම පිටපත්වල අඩුපාඩු සෑහෙන ප්‍රමාණයක් තිබෙනවා.
නීතිඥ ශිරාණි දිසානායක:-
එම ලේඛන නැවත අපට විත්තියට ගාස්තු රහිතව ලබා දෙන්න.
නීතිඥ තිලංග බ්ලොග් මහතා:-
අධිකරණයට ගොනු කර ඇති ලේඛන නිවැරදිව තිබෙන්නට පුළුවන්, ඒ අනුව එම ලේඛනවලින් නැවත පිටපත් විත්ති පාර්ශ්වයට ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා :-
විත්තිය උත්සාහ ගන්නේ මේ අයුරින් කතා කර කර තව අවුරුද්දක් විතර නඩුව ඇදගෙන යන්නයි.
මෙහිදී නීතිඥවරුන් කිහිපදෙනෙකුම කරුණු දක්වමින් නඩුව ඇදගෙන යාමට විත්තියට අවශ්‍ය නැති බව කියා සිටියහ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා:-
විශාල නඩු ගොනුවක් නිසාම එම සී. ඩී. තැටිවල සුළු සුළු අඩුපාඩු තිබෙනවා.
නීතිඥ ප්‍රදීප් පෙරේරා මහතා:-
අධිකරණය මඟ හැර සිටින හතළිස් වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටීමට මා හට වාචිකව උපදෙස් ලැබී තිබෙනවා.
දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව අධිකරණයට ගොනු කර ඇති අධි චෝදනා ඇතුළත් පැමිණිල්ලේ සියලු ලේඛන සහිත එක් පිටපතක් විත්ති පාර්ශ්වයට ලබා දෙන ලෙසට මහාධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියෝග කැරිණි.
එම පිටතින් අවශ්‍ය පිටපත් ප්‍රමාණය විත්තියේ නීතිඥ මහත්ම මහත්මීන් හට ලබා ගන්නා ලෙසටද නියම කැරිණි.
නැවත සිද්ධිය වූ ස්ථානයට අදාළ දර්ශන නැරඹීම සඳහා මේ මස 24 වනදා රෙජිස්ට්‍රාර්වරයා හමුවන ලෙසට විත්තියේ නීතිඥ මහත්ම මහත්මීන් හට දැනුම් දුන්හ.
ගෝල්ෆේස් සාමකාමී අරගලයට මැර ප්‍රහාරයක් එල්ල වූ පසුගිය වසරේ මැයි මස 09 වැනිදා පස්වරුවේ නිට්ටඹුව නගරයේදී හටගත් මහජන නොසන්සුන්තාවයක් අතරතුරදී පොලොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ හා ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයා ඝාතනය කර තිබිණ.
මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වා පවත්වා එම ඝාතනයන්ට අදාළ පුද්ගලයින් හතළිස් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණ.
තවත් පුද්ගලයින් දෙදෙනෙකු පැන ගොස් ඇත.
අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් හතළිස් දෙනා අතරින් දෙදෙනෙකු මහර බන්ධනාගාරයේදී මිය ගොස් තිබිණ.
එක් පුද්ගලයකු නිදහස් කැරිණි.
පැන ගොස් සිටින දෙදෙනා ඇතුළුව විත්තිකරුවන් තිස්හත්දෙනකුට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇත.
නඩුව නැවත කැඳවීම මේ මස 31 වනදාට කල් තැබිණ.
විත්තිය වෙනුවෙන් චමින්ද අතුකෝරළ, තිලංග බ්ලොග්, මාර්ක් ඇන්ටන්, හරිත් හෙට්ටිආරච්චි, සඳුන් රණසිංහ, සුරංග ජයතිලක, සාලින්ද අමරසිංහ, උපුල් අබේවික්‍රම, ප්‍රදීප් පෙරේරා, පියවරුන් ගුණතිලක යන නීතිඥ මහත්වරු හා නීතිඥ ශිරාණි දිසානායක මහත්මිය ප්රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.
රජයේ නීතිඥ ක්‍රිෂාන් අල්විස් මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙයවිය.