මත්පැන් බෝතල්වල අලවා ඇති ආරක්ෂිත ස්ටිකර් ව්‍යාජ ඒවාදැයි හඳුනාගැනීමට පාරිභෝගිකයන්ට හා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට හැකි වන පරිදි පවතින ජංගම යෙදවුම වැඩිදියුණු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ආරක්ෂක ස්ටිකර් නිෂ්පාදන සමාගම වෙත නියෝග කළේය.
ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව පසුගියදා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී වෙළෙඳපොළේ පවතින මත්පැන් බෝතල්වල අලවා ඇති ස්ටිකර් සත්‍ය ඒවාද ව්‍යාජ ඒවාද යන්න හඳුනාගැනීමේ ක්‍රමවේදයක් නැති බවට නිරීක්ෂණය කර තිබිණි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීම සඳහා ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පාර්ලිමේන්තුවේදී රැස් විය. කාරක සභාවට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ආරක්ෂක ස්ටිකර් නිෂ්පාදන සමාගමක නියෝජිතයකුද කාරක සභාව වෙත කැඳවා තිබිණි.
මෙහිදී මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකර් ඇලවීම අනිවාර්ය කළද එම උපදෙස් දිවයිනේ සියලු මත්පැන් නිෂ්පාදකයන් අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන් අප්‍රසාදය පළ කර ඇත. එම ස්ටිකර් භාවිත නොකරන සමාගම් හතරක් මේ වන විට හඳුනාගෙන ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දුන්හ.
එමෙන් ම ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු බිලියන 7ක හිඟ මුදල් මේ වර්ෂයට හා පෙර වර්ෂවලට අදාළව හිඟ බදු මුදල් අය කරගැනීමට සැලසුම ඔක්තෝර් 30 දිනට පෙර කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසද සභාපතිවරයා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දී ඇත. එමෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නුවරඑළිය ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීම් සම්බන්ධවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මේ රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න සහ අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, අශෝක අබේසිංහ, ඉෂාක් රහුමාන්, නාලක බණ්ඩාර කෝට්ටේකෝඩ, සංජීව එදිරිමාන්න, එස්.එම්.එම්. මුෂාරෆ් සහ වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුද සහභාගි වූහ.