Home » මාසිකව කාබනික පොහොර මෙට්‍රික් ටොන් 5000ක් අපනයනය කිරීම අරඹයි

මාසිකව කාබනික පොහොර මෙට්‍රික් ටොන් 5000ක් අපනයනය කිරීම අරඹයි

by chanaka
August 14, 2023 10:13 am 0 comment

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යටතේ තිබෙන වැලිමඩ උළුගලවත්ත කාබනික ඝන පොහොර සැකසුම් මධ්‍යස්ථානයේ කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමේ කටයුතු පසුගියදා(11) ආරම්භ විය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් එම කටයුතු ආරම්භ වූ අතර එම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර ඒ. එච්. එම්. මුසම්මිල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශණ දෙනිපිටිය, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ හා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති පාලින්ද සාගර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

මෙම මධ්‍යස්ථානයේ සකසනු ලබන ඝන කාබනික පොහොර මාසිකව මෙට්‍රික් ටොන් 5000ක් බැගින් අපනයනය කිරීමට කටයුතු යොදා තිබේ. මෙම පොහොරවලින් වැඩි ප්‍රමාණයක් මේ වනවිට ඩුබායි හි ඉදි කෙරෙමින් තිබෙන වගා ව්‍යාපෘතියක් සඳහා සපයනු ලබයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහි නිෂ්පාදන කටයුතු නිරීක්ෂණයට ලක් කළ අතර එම කාබනික පොහොර යොදා සකස් කළ ආරක්ෂිත කුටිවල වගා කරන ලද සාර්ථක එළවළු වගාව හා ගස්ලබු වගාව ද පරීක්ෂා කළේය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මෙරට කෘෂිකර්මාන්තය සියයට සියයක් කාබනික පොහොර යොදා සිදු කිරීමට ගත් තීරණය නිසා මෙරට කෘෂිකාර්මික අංශය මුළුමනින්ම බිද වැටුනු බව සදහන් කළේය.

එමෙන්ම මේ වනවිට සියයට 100ක්ම නැවතත් රසායනික පොහොර යෙදීමට ගොවීන් පෙළඹී තිබුනත් රසායනික පොහොර යෙදීමෙන් සිදුවන සෞඛ්‍යමය ගැටළු සම්බන්ධව විශාල කථිකාවතක් මින් පෙර විද්වතුන් විසින් රට පුරා දියත් කළ බව ද සඳහන් කළේය. නමුත් කාබනික ගොවිතැන සියයට සියයක්ම ක්‍රියාත්මක කිරීමට යාමෙන් අත්වූ නරක ප්‍රතිපල නිසා ඔවුන්ද දැන් ඒ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන්නේ නැත.

කෙසේ වුවද ගොවිතැනින් සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමට නම් කාබනික හා රසායනික පොහොර දෙවර්ගයම නිර්දේශිත ප්‍රමාණයන් අනුව යෙදීම මගින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට මෙන්ම ආහාරවල ගුණාත්මකභාවයටත් හේතුවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පර්යේෂණ මගින් සනාථ වී තිබේ.

බතලගොඩ වී අභිජනන මධ්‍යස්ථානය විසින් කළ පරීක්ෂණ අනුව වැඩිම වී අස්වැන්නක් ලබා ගැනීමට හැකිවී තිබෙන්නේ කාබනික හා රසායනික පොහොර දෙවර්ගයම නිසි නිර්දේශ්‍ය අනුව භාවිතා කිරීමෙන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT