Home » හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවාවට ඉහළ පිළිගැනීමක් ලැබිය යුතුයි – අගමැති

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවාවට ඉහළ පිළිගැනීමක් ලැබිය යුතුයි – අගමැති

by sachintha
August 14, 2023 4:39 am 0 comment

හදිසි මරණ පරීක්ෂකවරුන් ඉටු කරන සුවිශේෂ මානව හිතවාදී සේවාවට ගෞරවය පමණක් නොව, වඩාත් පිළිගැනීමක් ලැබිය යුතු බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. අගමැතිවරයා මේ බව සඳහන් කළේ සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂක වරුන්ගේ මහා සම්මේලනය සහ නිලවරණය අරලියගහ මන්දිරයේ පෙරේදා (12) පැවැති අවස්ථාවේදීය.

වසර විසිපහකට වැඩි සේවාකාලයක් සපුරණ හදිසි මරණ පරීක්ෂකවරුන් සහ අනෙකුත් හදිසි මරණ පරීක්ෂකවරුන් ඇගයීමද මෙහිදී සිදු කෙරිණි. අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය:

“හදිසි මරණ පරීක්ෂක සේවාව හා සමාන්තරව තිබෙන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට සම්බන්ධිත උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ක්ෂේත්‍රයන්ටද වඩාත් අන්‍යෝන්‍ය අවබෝධයෙන් රට වැසියන් වෙනුවෙන් සේවය කිරීමට අවශ්‍ය පහසුකම් වැඩි කළ යුතුයි. මුදල් නැති කාලයක ප්‍රතිපාදන වැඩි කරගැනීමට නොහැකි බව ඔබට අවබෝධයෙන් වැටහෙනු ඇති. එහෙත් ප්‍රතිපත්තියක් හැටියට හදිසි මරණ පරීක්ෂක සේවාවට මීට වඩා පිළිගැනීමක් ඇති කිරීම සහ පසුගිය කාලයේ තීරණය කරන ලද දීමනාවන්ට අතිරේකව යම් යම් දීමනා වැඩි කර ගැනීමේ ක්‍රියාමාර්ගය පිළිබඳව මගේ සහයෝගය අඛණ්ඩව දෙනවා. ඒ පිළිබඳව අධිකරණ ඇමැතිවරයාත්, මමත්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයත් සාකච්ඡා කරමින් සිටිනවා. ඔබ ඉටු කරන්නා වූ සේවාවට පිළිගැනීමක් පමණක් නොව, එම සේවාවට අලුත් විශ්වාසයක් ඇති කිරීමට හැකි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කළා. ජීවිතයක් ලොවට උපන් වෙලාව සියලු දෙනාගේ සතුටයි. පවුලේ අය පමණක් නොව මිත්‍රයන් නෑදෑයන් සියලු දෙනා වගේම රටක් සතුටුයි. ඒ බිහිවන්නේ අනාගතයට මහා වගකීම් ගත හැකි දරුවන් වන නිසා. සතුට වගේම ශෝකය ජීවිතයේ අනිත්‍යය භාවයේ කොනක තිබෙන බව තේරුම් ගත යුතුයි. ශෝකයට පත්වන අවස්ථාවත් ශෝකයට පත් වීමෙන් පසු ගත කරන කාලයේත් හදිසි මරණ පරීක්ෂකවරු ඉටුකරන සේවය සුවිශේෂයි. එම මානව හිතවාදී සේවාවට රටක් අවබෝධයෙන් ගෞරවය පමණක් නොව වඩාත් පිළිගැනීමකට පත් කරගත යුතුයි.“

කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් මේ සම්මමේලනයේ ප්‍රධාන දේශනය සිදු කළ අතර මේ අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ක්‍රිෂාන්ති මීගහපොළ, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලක්ෂ්මී සෝමතුංග, සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති අනුර හේරත්, ලේකම් මොහොමඩ් හර්ශාන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT