Tuesday, May 6, 2025
Home » රජයට බරක් නොවී ප්‍රතිසංස්කරණයට ගත් පියවර අගය කළ යුතුයි

රජයට බරක් නොවී ප්‍රතිසංස්කරණයට ගත් පියවර අගය කළ යුතුයි

-රුවන්මැලි චෛත්‍යාරාමාධිපති ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමි

by sachintha
August 15, 2023 4:53 am 0 comment

 

රජයට බරක් නොවන පරිදි අනුරාධපුර සිට මිහින්තලය දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට ගත් පියවර අගය කළ යුතු යැයි රුවන්මැලි චෛත්‍යාරාමාධිපති රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඊතලවැටුණුවැවේ ඤාණතිලක ස්වාමීන් වහන්සේ පැවසූහ.

අනුරාධපුර සිට මිහින්තලේ දක්වා දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමට එක්වූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පෙරේදා (13) පෙරවරුවේ අනුරාධපුර ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ සිදු කෙරුණු ආගමික වතාවත්වලින් අනතුරුව අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගැනීමට එක් වූ අතර, ඉන් අනතුරුව අනුරාධපුර රුවන්මැලි මහසෑ අබියස සිදු කෙරුණු ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් අනතුරුව රුවන්මැලි චෛත්‍යාරාමාධිපති රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඊතලවැටුණුවැවේ ඤාණතිලක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගැනීමට ද එක් විය.

එහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ රුවන්මැලි චෛත්‍යාරාමාධිපති රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඊතලවැටුණුවැවේ ඤාණතිලක ස්වාමීන් වහන්සේ මෙසේ ද කියා සිටියේය.

‘‘ඉතිහාසයේ ඉතාමත් කඩිනමින් ඉදි කිරීම් අවසන් වූ දුම්රිය මාර්ගය ලෙස අනුරාධපුර – ඕමන්ත මාර්ගය හඳුන්වන්නට පුළුවන්. ඉතාමත් හොඳ ප්‍රමිතියකින් යුතුව මාර්ගය නිම කර ඇති බව මාර්ගයේ ගමන් කිරීමේදී අපට වැටහුණා.

ඒ ආකාරයටම මිහින්තලය මාර්ගයේ ආරම්භ කළ ප්‍රතිසංස්කරණ කටයුතු ද ඉතාමත් ඉක්මනින් අවසන් කරනු ඇති බව අප විශ්වාස කරනවා. විශේෂයෙන්ම ප්‍රදේශවාසීන්, වන්දනාකරුවන්, ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසකගේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පැවති ඉල්ලීමක් ඉටු කරමින් මේ මාර්ගය වෙත අවධානය යොමු කරමින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම ඉතාමත් වැදගත්.

ත්‍රිකුණාමලය, යාපනය ආදී ප්‍රදේශවල නිෂ්පාදනය කරන කෘෂිකාර්මික නිෂ්පාදන කොළඹ දක්වා ප්‍රවාහනය කිරීමේදී පවතින බාධා අවම කිරීම සඳහා ශීතාගාර සහිත ගබඩා සංකීර්ණයක් මේ ප්‍රදේශයේ ඉදි කිරීම පිළිබඳ බොහෝ කාලයක් තිස්සේ විවිධ රජයන්ගෙන් මහා සංඝරත්නය ද ඉල්ලීම් කළා.

එවැනි වටපිටාවක් තුළ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ගත් මේ පියවර ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම රජයටත් බරක් නොවන පරිදි මේ කටයුතු සැලසුම් කිරීමට ගත් පියවර අගය කළ යුතුයි.

මේ වන විට කෘෂි කර්මාන්තය වෙනුවෙන් දැරීමට සිදු වන නිෂ්පාදන වියදම, අපතේ යෑම මෙන්ම ප්‍රවාහන වියදම ද ඉතාමත් වැඩියි. එම නිසා ගොවීන්ට ආසන්නම ස්ථානයක මේ ආකාරයට ඔවුන්ගේ නිෂ්පාදන රැස් කරමින් රට පුරා මෙන්ම විදෙස් රටවලටත් යැවීම සඳහා සැලසුමක අවශ්‍යතාව එදා පටන් පැවතුණා. කෘෂි කර්මාන්තයෙන් ජීවත් වන උතුර, උතුරු මැද ඇතුළු පළාත් රැසක ජනතාවගේ අවශ්‍යතාවන් රැසක් මේ තුළින් ඉටුවනවා. එම නිසා මෙම ඉල්ලීම කඩිනමින් ඉටු කර දෙන ලෙස පසුගිය දිනක ජනාධිපතිවරයාට ද දැනුම් දුන්නා. එය භාර අමාත්‍යවරයා ලෙස එය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කිරීමට පියවර ගැනීම පිළිබඳ අප සතුටට පත්වනවා.

2014 වසරේ මුල් වරට මහව සිට යාපනය දක්වා දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම සඳහා මුල්ගල තබා කටයුතු ආරම්භ කර තිබෙනවා. එවක පටන් රජයන් කිහිපයක් යටතේ අමාත්‍යවරුන් හත් දෙනකුට වැඩියෙන් සිටියත් විවිධ හේතූන් මත ඒ කිසිවකුටත් එය අවසන් කිරීමට හැකියාව ලැබී තිබුණේ නැහැ.

ඒ මාර්ගය මේ ආකාරයෙන් ඉහළ ප්‍රමිතියකින් යුතුව අවසන් කිරීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත්. එහි ඉතිරි කොටස වන මහව සිට අනුරාධපුර දක්වා කොටස බොහෝ කලක සිට නවීකරණයක් නැතිව අබලන් තත්ත්වයේ පවතිනවා. මේ වන විට පවතින ආර්ථික තත්ත්වය තුළ දුම්රිය ප්‍රවාහනය තුළින් ජනතාවට විශාල සේවයක් ඉටු වනවා. ඉන්ධන ගැටලුවට, මාර්ග තදබදයට එය ඉතාමත් හොඳ විසඳුමක්. ඉතාමත් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ ඉල්ලීමක් වශයෙන් අපගේ ජීවිත කාලය තුළ මෙහි ඉදි කිරීම් අවසන් කොට විවෘත වනවා දැකීම අප සැමගේම බලාපොරොත්තුවක්.

නිෂ්පාදන ආර්ථිකයක් ඔස්සේ ලෝක වෙළෙඳපොළ ජය ගැනීමට සැරසෙන ස්මාට් ගොවියකු නිර්මාණය වන යුගයක් අද ඇති වී තිබෙනවා. කාබනික ලෙස සිදු කරන නිෂ්පාදන අලෙවි කිරීම සඳහා නව වෙළෙඳපොළ අවස්ථාවන් බිහි කළ යුතුයි. බොහෝ පිරිසක් මේ වන විට කාබනික ආහාර පාන වෙත නැඹුරු වෙමින් පවතිනවා.

මෙම සියලු සංකල්පයන් සාර්ථක කර ගැනීම සඳහා ආරම්භ කරන ලද අනුරාධපුර මිහින්තලය දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියත්, අනුරාධපුර මහව දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතින්ද ඉවහල් වනු ඇති බවට මා විශ්වාස කරනවා.’’

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT