ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල බදුල්ල හිඟුරුගමුව රක්ෂිතයේ පෙරේදා (14) රාත්‍රි හටගත් හදිසි ගින්නකින් අක්කර 20ක පමණ ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
රක්ෂිතයේ පෙරේදා (14) පස්වරුවේ හටගත් ගින්න මධ්‍යම රාත්‍රිය වනතෙක් පැතිර යමින් තිබූ අතර, රාත්‍රියේ ගින්න ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල භූමිය දෙසට ද පැතිර යන්නට වීමත් සමඟ විශ්වවිද්‍යාලයේ හදිසි ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන්, ආරක්ෂක අංශයේ නිලධාරීන් එක්ව ජලබවුසර් යොදා ගනිමින් කොළ අතු භාවිත කරමින් ගින්න මැඬපැවැත්වීමට පියවර ගෙන ඇත. ගින්න රක්ෂිතයේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ආසන්නයේ පිහිටි අධිබලැති විදුලි කුලුනක් අසලට පැතිර යෑම නිසාවෙන් එම ස්ථානයේ අනතුරුදායක තත්ත්වයක් ද උදා වී තිබූ බව පොලිසිය පැවසීය. මේ අතර, නුවරඑළිය, හග්ගල අතිසංවේදී දැඩි ස්වභාවික රක්ෂිත වනාන්තරයේ හුලංකපොල්ල ආශ්රිත ප්‍රදේශයේ ද ඊයේ (15) හටගත් ගිනි ගැනීමක් හේතුවෙන් එහි අක්කර 20කට අධික භූමි ප්‍රමාණයක් ගිනි ගැනීමට ලක්ව විනාශයට පත්ව ඇතැයි හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පැවසීය.හග්ගල දැඩි ස්වාභාවික රක්ෂිතය යනු ශ්‍රී ලංකාවේ පවතින අධි ආරක්ෂිත වනාන්තර ත්‍රිත්වය අතරින් තෙත් කලාපය තුළ පිහිටි එකම රක්ෂිතය වන අතර, මෙය කඳුකර කොටියන්, කඳුකර ගෝනුන් මෙන්ම අං කටුසු වර්ග ඇතුළු මෙරටට පමණක් ආවේණික සත්ත්ව හා ශාක විශේෂ රැසකින් සමන්විත අතිසංවේදී පරිසර කලාපයකි.
ගිනි ගැනීමට ලක්වූ හුලංකපොල්ල ප්‍රදේශයේ මේ දිනවල පවතින වියළි හා දැඩි සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගින්න ශීඝ්‍රයෙන් පැතිරී යමින් පැවතිණ. හග්ගල වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීන්, හග්ගල උද්භිද උද්‍යාන සේවකයන්, නුවරඑළිය හා කැප්පෙටිපොළ පොලිස් ස්ථානයන්හි නිලධාරීහු හා නුවරඑළිය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව රක්ෂිතයේ පැතිරී යමින් පවතින ගින්න පාලනය කොට සම්පූර්ණයෙන් නිවා දැමීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටියහ.