Home » බඩ මත්තේ-මෝඩකම ඉස්මත්තේ

බඩ මත්තේ-මෝඩකම ඉස්මත්තේ

by gayan
August 19, 2023 1:00 am 0 comment

“අධිරාජ්‍යවාදය ඇත්තේ කොහේ’දැයි විමසීම සඳහා ඔබගේ කෑම පිඟාන බැලීම ප්‍රමාණවත්ය”. කියා පවසන ලද්දේ අප්‍රිකාවේ චේ ගුවේරා ලෙස සැලකෙන තෝමස් සංකරාය. 1983දී විප්ලවයෙන් බලය අල්ලාගත් සංකරා, බුර්කිනා ෆාසෝහි ජනාධිපති පුටුවේ වාඩි විය. ආහාරයේ ඇති අධිරාජ්‍යවාදී ආධිපත්‍ය වූ කලී සෙල්ලම් නොවන බව මේ විප්ලවකාරයා දුටුවේය. හේ ගත් මඟ වූයේ, කෑම පිඟානේ සිටම නිවහල් වීමය.

සාගින්න සම්බන්ධයෙන් ඇති ගජබින්න තොග ගණනකි. අපි කෑම වේලක් සඳහා වාඩි ලා ගත්තේ ද එතැන් සිට ආරම්භ වන්නේ ණය කන්දක් කුස මත්තේ ගොඩ ගැසීමය. බඩේ ගොඩ ගැසෙන්නේ අපේ පුද්ගලික ණය මුදල්ය. ඒ සමඟම වටේ ගොඩ ගැසෙන්නේ රටේ ණය කන්ද වේ.

අප කන පිඟානේ ඇති රම්පේ කරපිංචා මේ රටේ උපන් දේවල්ය. ඒ හැර අන් සියල්ල සඳහා වැඩි පංගුවක් ඇත්තේ මේ රටේ නොවන මූලයන්ය. බෝංචි වැවෙන්නේ උඩරට විය හැකිය. පොහොර එන්නේ වෙන රටකිනි. බීජ එන්නේ තව රටකිනි. අපි කරන්නේ වවා කියාගෙන, උයා පිහාගෙන, බඩට දා ගැනීමය.

එහෙම පිරිසක් අතින් රටකට සිරි වෙනවා කියන එක කතාවක් නොවේ. කොවිඩ් ආපදාව ආ කල්හි සියලු ප්ලාස්ටර් ගැලවී ගොස් තුවාලය පෙනෙන්නට පටන් ගත්තේය. බංකොලොත් වෙන තරමට, වැඩේ යන්නේ පාඩුවට කියන එක අපිට ෆීල් වූයේ එදාය. තව ටික දුරක් ඒ පාරේ ගියා නම් මේ රටේ උන් පාස්පෝට් පෝලිමේ නොව කනත්ත සඳහා ද යනු ඇත්තේ පෝලිමේය.

ඒ තරමට බේරන්න බැරි තැන දක්වා ප්‍රශ්නය ඔඩු දුවා තිබුණි. ඒ හැම දෙයකම ගැබ්ව තිබුණේ සෙවල ක්‍රියා පටිපාටියය. ආර්ථික මධ්‍යස්ථානය කියන්නේ වත්තෙන් කඩා ගන්නේ නැත්නම්, අඩුවටම එළවළු ටික ගන්න පුළුවන් තැනය. මේ දිනවල එහි බෝංචි කිලෝවක් රුපියල් 440කටත්, කැරට් කිලෝවක් රුපියල් 480කටත්, ගෝවා කිලෝවක් රුපියල් 380කටත් මිල නියම වේ. තක්කාලි කිලෝව රුපියල් 320කි. වම්බටු කිලෝවක් රුපියල් 400 කි. උඩහ වැවෙන අල කිලෝව 480කි. දෙහි රුපියල් 1000කටත්, අමුමිරිස් කිලෝව රුපියල් 800කටත් ගත හැකිය. දරු දෙදෙනෙක් ඉන්න පවුලක් මේ ගාණට එළවළු අරගෙන මාසයක් පුරා බත් කන්නේ නම් ඒ ගෙදර කෑම බීලම රුපියල් ලක්ෂයක් පන්නා යන්නේය. එහෙම පඩි ලැබෙන රස්සා අපට නැත. එහෙයින් ජාති එකක් සමඟ බත්, අපේ කෑම වේ. ජාති දෙකක් ගන්නවා කියන්නේ බරට කන පවුලකි. වත්තේ ඇති කොළයක්, දල්ලක් මලවා කෑම පිඟානේ තනිය, අපේ අම්මලා මකා දෙන හෙයින් ඔෆිස් එකට ගෙන යන බත් එක තව එකෙක් ඉස්සරහා දිග හැරගෙන කා හැක්කේය. ප්‍රධාන සමාගම් දෙකට අතිරේක ලාභයක් ලබාගත නොහැකි වන පරිදි පාන් පිටි කිලෝවක විකුණුම් මිල රුපියල් 198ක් ලෙස නිවේදනය කරන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි. මේ කතාව වනාහි අප බඩ මත්තේ සහ මෝඩකම් ඉස්මත්තේ සමාගම් ගොඩ යන ආකාරය පිළිබඳව වූ සරල උදාහරණයකි. පාන් පිටි කියන්නේ කෑමක් නොව දේශපාලන ආයුධයකි. එය බලය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. මේ නිසා ඒ සමාගම් දෙක අපව ගන්නේ ‘පාන් බට්ටන්’ ගාණටය. ඕනෑ වෙලාවට ගාණ උස්සන්නේය. බොහෝ මැති ඇමැති ඒ කොම්පැනි දෙකේ අනුග්‍රහය ලබන හෙයින්, සහනාධාර ඕනෑවටත් වඩා ඔවුහු ලැබන්නාහ. අතිරේක ලාභ මේ සමාගම් දෙක සඳහා ලැබෙනුයේ ඒ අනුග්‍රහය මත්තේය. මේ ගැන අවධානය යොමු කර, අතිරේක ලාභයක්, පොඩි එකා කන බනිස් ගෙඩියෙන්, වතු කම්කරුවා ලූනු ගෙඩිය සමඟ කන රෝස් පාන් කාලෙන් ගැනීම නවතාලීම සඳහා අණ දුන් මුදල් කාරක සභාවට නිවන් දකිනා තෙක් කුසගිනි නොදැනේවා යන්න අපි ප්‍රාර්ථනා කරමු.

අනික් අතට බිය වද්දා කෑම කැවීමය. එහෙම කරන්නේ බත් නොකන පොඩි එකාට යැයි අපි සිතන්නෙමු. දැන් ඒවා කරන්නේ කඳ බඩ මහත් වූ ලොකු එකාලාටය. වැස්ස පොඩ්ඩක් පරක්කු වූ සැණින් දුර්භික්ෂයක් රටේ මවන ගැන්සියක් සිටිති. ඒ පිටුපස්සේ එන්නේ ‘කල්තියා’ සූදානම් වෙමු යන යෝජනාවය. ඒ අනුව හාල් ආදී සියල්ල සඳහා පිටරටට ඕඩර් දෙන්නට අණ ලබා ගැනීම අරමුණය.

ලබන මහ කන්නයේ අස්වැන්න ලැබෙන තෙක් පවතින සහල් හා වී තොග ප්‍රමාණවත් හෙයින් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය පෙරේදා සඳහන් කළේය. දත මැදගෙන රටින් බඩු ගෙන ඒමට බලා සිටි එවුන්ට ද දැන් ‘බඩු බනිස්ය’.

අතිරේක ආහාර භෝග වන මුංඇට, කවුපි, උඳු, රටකජු හා කුරක්කන් ද අවශ්‍ය තරම් තොග රට තුළ පවතින බැවින් ආහාර හිඟයක් ඇති වීම සම්බන්ධව බියක් ඇති කර ගත යුතු නැති බවත්, කුකුළු මස් හා බිත්තර ද මෙම වසර අවසන් වන තෙක් පරිභෝජනයට අවශ්‍ය තරම් පවතින බවත්, ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම කමිටුව අවධාරණය කළේය.

දැන් පටන් ගත යුත්තේ එතැන් සිටය. පාන් පිටි සඳහා ඇති අධික ලාභ තීරුව පළමුව පළු ගැසිය යුත්තේය. ඒ සඳහා හොඳම ක්‍රමය අධික බද්දය. පාන් පිටි පරිභෝජනය වසරක් තුළ සියයට විසිපහකින් අඩු කර ගැනීම ඉලක්කයය විය යුතුය. අනිත් ඉලක්කය නම් අප කන දේ පූර්ණ වශයෙන් මේ පොළොවෙන් උපදවා ගැනීමය. එහෙම තැනකට ඉක්මනට නොයන්නේ නම් ළඟම ඇති කනත්තට රටක් ලෙස ඉක්මනට යා හැකි වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT