Wednesday, May 14, 2025
Home » මෙනේරිලාවල වෙලක තිබී හමු වූ සිරුර මිනිස් ඝාතනයක්

මෙනේරිලාවල වෙලක තිබී හමු වූ සිරුර මිනිස් ඝාතනයක්

ඇල්පිටිය සමූහ - චන්ද්‍රසිරි ගුණසේකර

by gayan
August 19, 2023 1:00 am 0 comment

අභිරහස් ලෙස මියගොස් සිටියදී ඇල්පිටිය පොලිස් වසමේ ඕපාත මෙනේරිලාවල ප්‍රදේශයේ තිබී පසුගියදා (16) රාත්‍රී හමුවූ මළසිරුර මනුෂ්‍ය ඝාතනයක් බවට තහවුරු වී ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නාගස්ගොඩැල්ල, අමුණ ගණේගොඩ ලිපිනයේ පදිංචිව සිටි හෑලඹගේ දොන් දමිත් කුමාර 46 හැවිරිදි දෙදරු පියෙකි.

මීගවයන් බැඳීම සඳහා ඉකුත් (16) සවස ඕපාත මෙනේරිලාවල ප්‍රදේශයට ගිය අයෙකු බේරුගොඩ වෙල්යාය මැදින් ගලායන ඇළේ පාවෙමින් තිබුණ මෙම මළසිරුර දැක පොලිසියට කළ දැනුම්දීම අනුව පොලිසිය ගොස් මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර, පසුව ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ පවත්වා මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය මූලික රෝහල වෙත රැගෙන යාමට නියෝග කරනු ලැබීය.

ඇල්පිටිය මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ මහතාගේ නියෝගය පරිදි ඇල්පිටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සඳකැන් වඩුගේ මහතා විසින් ඇල්පිටිය මූලික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය.

මරණකරුගේ හිසට දෙඅත්වලට හා කලවා ප්‍රදේශයට කැපුම් පහරවල් 16කට ආසන්න ප්‍රමාණයක් සිදුව තිබූ අතර, මරණකරුගේ හිසට අත්වලට හා ශරීරයට සිදුකරන ලද දරුණු කැපුම් තුවාල හේතුවෙන් ලේ වහනය වීමෙන් වූ කම්පනය මත මෙම මරණය සිදුවී ඇතැයි පශ්චාත් වෛද්‍ය පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇතැයි පොලිසිය පවසයි. ඒ අනුව මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට තහවුරුවූ බව පොලිසිය කියයි.

මියගොස් සිටින දමිත් කුමාරගේ බිරිය වන සුජාතා පුෂ්පමාලා රණවීර දැනට විදේශගතව සිටින බවත්, මොහු හා බිරිය අතරවූ විරසකයන් හේතුවෙන් මොවුන්ගේ දරුවන් වන අවුරුදු විස්සක් වන දියණිය හා අවුරුදු දහනමයක් වන පුතා අටකොහොට නවදගල ලිපිනයේ පිහිටි බිරියගේ මවගේ නි‍ෙවසේ ජීවත්වන බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මියගොස් සිටින දමිත් අරක්කැමියෙකු වන අතර, ඔහු කලක් පාසල්වල ආපනශාලා මෙන්ම පෞද්ගලික ආපනශාලා පවත්වාගෙන යමින් හොඳ ජීවිතයක් ගත කළ අයෙකි. එපමණක් නොව ඔහු ඉතා දක්ෂ ක්‍රීඩකයෙකු වන අතර අවිත්තාව නාලන්දා මහා විද්‍යාලය වැනි ප්‍රදේශයේ ජනප්‍රිය විද්‍යාලවල පැවැති ක්‍රීඩා තරගවලදී එම විද්‍යාලවල ආරාධනය පරිදි ක්‍රීඩා විනිශ්චයකරුවකු ලෙස ද කටයුතු කළ බව එම විදුහල් ආරංචිමාර්ග පැවසීය.

පවුල් ආරවුල් නිසා මොහු නාගස්ගොඩැල්ල, අමුණ ගණේගොඩ ලිපිනයේ පිහිටි නි‍ෙවසේ තනිව වාසය කර ඇත.

එසේම මොහු කසිප්පු හා වෙනත් මත්ද්‍රව්‍ය හාවිතයට තදින් ඇබ්බැහිවීම නිසා ජීවිතයේ පරිහානිය ළඟාකර ගත් අයෙකු බව ද ප්‍රදේශවාසීහු පවසති.

නිවාසවල පැවැත්වෙන උත්සව අවස්ථාවලට ආහාරපාන පිළියෙල කරදීම ද කලක් මොහු රැකියාව වශයෙන් සිදුකළ ද මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීමෙන් පසු ප්‍රදේශයේ තේ දළු හොරෙන් කැඩීම, කුරුඳු හොරෙන් කැපීම වැනි සොරකම්වල යෙදී ඇති බව ද ප්‍රදේශවාසීහු පවසති. වරක් මොහු ගවුමක් ඇඳගෙන තොප්පියක් හිස පළඳා තේ වත්තක හොරෙන් තේ දළු නෙලා ඇති බවද ප්‍රදේශවාසීහු පැවසූහ.

මරණ පරීක්ෂණයෙන් පසු මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත මොහුගේ මළසිරුර ඥාතීන් වෙත භාරදී තිබේ.

ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ උපදෙස් පරිදි ඇල්පිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර විජේසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT